අපේ කාළයේ දුක හිතෙන කථාවක් …….!.. ( පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි )

ඩොනල්ඩ් මුදන්නායක හාමු මහත්තයා අපේ ගමේ මහ දළ කාරයාය…ගොඩ, මඩ දෙකම අක්කර සිය ගණනක ඉඩකඩම් සමග සල්ලි උඩ පිනුම් ගහන මුදන්නායක වළව්වට දැසි දස්සන් බොහොමයකි… ගමේ නමගිය චණ්ඩි බණ්ඩි පිරිවරාගෙන වැඩ ඉන්නා ඩොනල්ඩ් හාමු මොන කුප්ප වැඩේ කළත් ගම්මු “මීක්” නැත…ඉස්සර ඔය එහෙන් මෙහෙන් සද්දයක් දෙකක් දැමූ ඉලන්දාරීන්ට ඩොනල්ඩ් හාමු ගේම දී කන්න විතරක් කට අරින ලෙවල් එකට සයිලන්ස් කර ඇත…ඒ නිසා දැන් ඩොනල්ඩ් හාමුගේ මුදන්නායක වළව්වට ඉහළින් ඉගිල්ලිය හැකි කාක්කෙක් හොයාගත නොහැක….මේ සිරිතුලානේ කිසිම කාක්කෙකුට එහෙව් ගටක් තියෙනවා යැයි සිතන්නටද බැරිය…
ඩොනල්ඩ් හාමුවාට යන යන තැන දරුවෝය…ගමේ ගෙවල් ගාණේ රෑට රෑට පැන පොඩොස්සියන් බඩ කිරීම උන්නැහේ කාළාන්තරයක් තිස්සේ කරන නිසා, මේ යකාගේ අවජාතක දරුවෝ හැම තැනමය…උන් එක එක පාටය…බොහෝවිට උන් උන්ගේ අම්මලාගේ පාටත්, අප්පාගේ මුහුණුවරත් ගන්නා නිසා අඳුනාගන්නට අපහසු නැත…ඔයින් ගෙවල් දෙක තුනකට මුදන්නායක හොඳට සළකා ඇත…ඒ නිසා ඉස්සර මැටිගොඩවල් වගේ තිබ්බ ඒ ගෙවල් දැන් පාට කොරලා, ඒ.සී හයි කරලා, ඇටෑක් බාත්-රූම් එහෙමත් තියෙනවාය…හැබැයි මුන්නැහැ වැදුණු අනිත් ගෙවල් වලට නම් ඒ හැටි වගතුවක් නැත….සමහර ඒවාට වගේ වගතුවක් නැත…මුදන්නායක තරහ කර ගත්තොත් නයාය…පළිගන්නේ එළව එළවාය…කොහොම හරි උන්නැහේ තරහ කරගත්තොත් බේරෙන්න පුළුහන් තැනක් මේ සිරිතුන් තළේම නැත…
ඩොනල්ඩ් හාමුගේ අත මුළ ඉඳන්ම ඉම්බ එවුන්ට හරියනවා කියලා ගමේ ගොඩේ පොඩි විස්වාසයක්ද තිබේ…ඒක නිසා සමහර ගෙවල් වල උන් නම් ඩොනල්ඩ් මුදන්නායක ඉස්සරහ දොරින් ගෙට එනකොට, පොඩොස්සිව කාමරේ තනිකර, පස්ස දොරින් එළියට බැස මග ඇරලා ඉඳිති….එහෙම ඉන්න උන්ගේ ගෙවල් බලාගෙන ඉන්දැද්දී දියුණු වෙන බව ගමේ උන්ගේ විස්වාසයයි….ඒක එහෙම වෙච්ච තැන් කීපයක්ද උදාහරණ වසයෙන් ඇත….ජැපේ රාළහාමි මුදන්නායක වළව්ව එක්ක හැප්පී මුදන්නායකලා අතින් මැරුම් කැවේය…ඩොනල්ඩ් හාමු ජැපේ රාළහාමි කම්බස් කොට රාළහාමි බංගලාව කුඩු සංසාර කර, තළා පොඩි කර දැම්මේය…ඒත් ජැපේ රාළහාමිගේ දූලා ටික ඩොනල්ඩ් හාමුට ගෙට එන්ට ඉඩ දුන් නිසා, අද ජැපේ රාළාමි බංගලාව බලන්ට ලස්සනය…..ඒකෙ තියෙන සාර සම්පත් අතින් මුදන්නායක වළව්වටත් එහාය….ඔය එක උදාහරණෙකි….
තව ඉතින් බැලුවොත් කොරලියා හාමිනේගේ එක දුවෙක් ඩොනල්ඩ් හාමුගේ ඇඳට නැග්ග අතර, අනිත් දුව ඩොනල්ඩ් හාමුට වත්ත හතර මායිමේ එන්ට නුදුන්නාය….පතිවත රැකගත් එකී අද අනාථය….ඒකිගෙ හිඟන පැල් කොටේට වැලේ වැල් නැත….ඩොනල්ඩ් හාමු අතින් අනාථ වෙච්ච එකී නම් එන්න එන්නම බබළනවාය….අද ඒකි ඉන්නෙ දිව්‍ය භවනකය…සාදර අනුග්‍රහය ඩොනල්ඩ් හාමුගේය…මෙහෙව් ගමේ පතිවත රැකගෙන මොටදැ‍යි අපටත් හිතෙනවාය…
අමාරිස් පීරිස් යනුවෙන් අප කවුරුත් දන්නා ගැටයාද ඩොනල්ඩ් හාමුගේම අවජාතක දරුවෙකි…. ඌ ඇවිල්ලා ඩොනල්ඩ් හාමු “සදංහාමිගේ” ගෙට රිංගීමේ අනිසි ප්‍රතිඵලයකි….අමාරිස් පීරිස් කියන්නේ ගමේ ඔය හරියෙම ගෙවල් වලට ඩොනල්ඩ් හාමු රිංගා ජාතක කොරවාපු අනිත් උන්ට වඩා මහ නහර කාරයෙකි….ඌට ඔය කරෝල කෑල්ලක් එක්ක බච් ඩිංගක් කොටාබාල පැත්ත බලාගෙන ඉන්ට බැරිය….ඌට ගමෙන් කොටහකට අයියා වෙන්නම ඕනෑය…යන්තං දණ ගාන කාලේ ඉඳන් ඔය උණ තිබ්බ කොලු ගැටව් හත් අට දෙනෙක්ම ගමේ ඔය ඉසව්වේ හිටියාට දැන් උන්ට එච්චර වගුතුවක් නැත…තුන්වේල කන්නේද බෝම අමාරුවෙනි….උන් මුදන්නායක වළව්වේ වීදුරු බිඳන කාළයේ අප්පගේ ඇටේවත් නොහිටි අමාරිසා මේ ඩිංග කාළෙට අත පය දිගෑරපු මදාවියෙක් උනේ කොහොමදැයි කියන එක ගැන ගම්මු එක එක කථා කියන්නෝය….සමහරුන්ට අනුව නම් අමාරිසා හොරෙන් හොරෙන් අප්පලෑ දිහා, ඒ කියන්නෙ මුදන්නායක වළව්වටම රිංගනවාය…..ඌ හිටි අඩියෙ මෙච්චර උස් මහත් උනේ මුදන්නායකලා ඌට හොරෙන් හොරෙන් කන්න අඳින්න දෙන නිසාය…මොනවා උනත් ඩොනල්ඩ් හාමුට ඌව දකිනකොට පිය සෙනෙහෙ කකියනවාය….පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදි කියන්නේ ඒකලුය…මොනා උනත් තමුන්නෙ ලෙයින් ජාතක වෙච්ච එකා නොවැ….
ඒව්වෑ ඇත්ත නැත්ත කෙසේ වෙතත් අමාරිස් පීරිස් දැන් මුළු ගමම හකුළෝන මදාවියෙක් වී සිටියි….උගේ නම ඇහුණත් අහළ පහළ යායවල ගොයියෝ කෙල්ලෝ ගෙට ගනිති….කෙල්ලෝ ඉතරක් නොව කොල්ලන්වද ගෙට දමා රකිති….මූ ගෙවල් ගිනි තියයි…මුගෙන් බේරෙන්න ඌ ඉන්නා “මැද යායේ” ගොයියෝ දරු පැට්ටන් තුරුල් කොරාන පවුල් පිටින් අහළ පහළ යායවලට දුවති.. මේ ළඟදි වැව පැත්තෙන් පැනලා යන්න හදපු ගොයි පවුලක් ගිය ඔරුව පෙරළී එක දරු සිඟිත්තෙක් ඌරා වත්තට ගොඩ ගැහුවේය….ඒක දැක්ක මුළු ගං තුලානම අමාරිස්ට හෙණ ඉල්ලුවෝය….කොටින්ම කිව්වොත් මේ පාදඩයා ඊයේ පෙරේදා මේ ගංතුළානේ තිබ්බ පරණම දේවාල වලින් එකකට ගිනි ලෑවේ මුළු ගමම “අනේ අපොයි දෙයියොම බලාගන්ට මේ නස්පැත්තිය” කියද්දීය….අමාරිසාට ගමේ පරණ දේවල් වලින්, ඉතිහාසෙන් වැඩක් නැත….ඌ කියන පඩත්තල වැදිබණේ කවුරුත් අහන්ට ඕනෑය….වෙන අනම් මනම් වානාය….එක අතකට අප්පගෙම පුතා නොවැ….ඇරපු අතක් නෑ…අප්පගෙම ගතිගුණ තමා පුතාටත් පිහිටලා තියෙන්නේ….ඌ හඳ පෙන්නා ඉර කිව්වොත් අපි ඒක ඉර කියලා පිළිගන්ට ඕනෑය….ඩොනල්ඩ් හාමුවාත් ඔහොම්මයි…අප්ප කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටියෙ පුතාය…අවජාතකයා කියල වෙනසක් ඇතෑ….?….
ගම්මු අමාරිසාට හෙණ ඉල්ලති…පළි ගසති….ගම්මිරිස් අඹරති….අබ පුච්චති…රූප කටු ගසති…පොළවේ හැපෙති…වස්කවි කියති….අමාරිස් පීරිස් කියන්නේ ඩොනල්ඩ් හාමුගේ අවජාතක එකෙක්ය කියන එක ගමම දන්නා රහසක් බව ඩොනල්ඩ් හාමුද දනී….ඒ නිසා ගම්මු අමාරිසාට හෙණ ඉල්ලනකොට තමුන් කට වහන් හිටියොත්, මුදන්නායකලාට පාරේ රෙද්දක් ඇඳගෙන යන්න බැරි වෙන බව දන්නා නිසා ඩොනල්ඩ් හාමුද ගම්මු එක්කම අඬයි….අමාරිසාට හෙණ ගහන්ට ඕනෑ බව කියයි….ඒ මිරිස් ඇඹරිලි, පළි ගැහිලි වලට සහබාගී වේ….
“හාමු මහත්තයො…අපි මේ පළි ගහන්නෙ, වස් කවි කියන්නෙ අපේ තියෙන බැරි කමට….තමුන්නාන්සෙ එහෙම කොරන්නට ඕනැය?….තමුන්නාන්සෙට ඕන නම් මේ අමාරිසා එක සිවිඩ්ඩට අල්ලලා උඩු කුරුඤ්ඤං කොරන්ට ඇහැක් වරු බාගයක් යන්ට ඉස්සෙල්ලා…!…ඉතින් තමුන්නාසෙ මේ වෙන ආසක්කු බලාගෙන පළි ගහ ගහ ඉන්නෙ අහවල් ඒකටද?”  
කියා ගම්මු අහනකොට ඩොනල්ඩ් මුදන්නායක ඒවා නෑහුණා සේ ඉඳියි….අමාරිසාට කටින් දෙස් දෙවොල් තියයි…
අමාරිසා සිරිල්ලෑ ගෙදරට ගිනි තියා උන්නේ දෝණි ඇන්දෑටද හදි කොරන්ට ලෑස්ති වෙන අස්සේ මුළු ගමම බිරාන්ත වෙලා බලාගෙන ඉන්දැද්දී ඩොනල්ඩ් හාමු අහක බලාගෙන හිටියේය….අමාරිසා දැන් ඩොනල්ඩ් හාමුට කොන්ට්‍රෝල් නැති උනත්, ඔය සිරිල්ලෑ වත්තට අමාරිසාට රිංගන්ට පාර කැප්පෙව්වේ ඩොනල්ඩ් හාමුය….ඒව්වා අමතක වෙන්ට ගම්මු මැරිලා ඉපදිලා නැත….
ඔය අව් අස්සේ සිරිල්ලෑ පරාණ මිත්තරයා වෙච්චි ගමේ කොයි කවුරුත් දන්නා ගණන් කාරයෙකු වන “රුබේරු රතුවිතාන” ඔතෙන්ට පිඹගෙන ආවේය… රුබේරු කියන්නෙ හයේ හතරේ සද්දන්ත පුරුසයෙකි…ඒ වගෙම යමක් කමක් තියෙන වැඩකිඩ ඇහැක් හාදයෙකි…ඔය රුබේරුවා අද ඔහොම හිටියට ඉස්සර ඔවුනුත් වළව් කාරයෝය…ඒ කාලේ “රතුවිතාන වළව්ව” සද්දන්තය…. කොටිම්ම කිව්වොත් රතුවිතාන වළව්ව කියන නම ඇහෙනකොට ඩොනල්ඩ් හාමුගේ චක් ගෝලයන්ට සරං පොජ්ජ වල හුජ්ජ යනවාය….කොටිම්ම කිව්වොත් සද්දන්ත ඩොනල්ඩ් මුදන්නායක හාමු මහත්තයා පවා තිගැස්සිලා ඇහැරෙනවාය…රතුවිතානලාට බයේ ඩොනල්ඩ් හාමුයි, හාමුගේ චක් ගෝලයොයි එක්කාසු වෙලා සමිතියකුත් හදා ගත්තෝය… ගමේ එකාලා ඒකට කියන්නේ “නැතෝ” සමිතිය කියලාය….
අද රතුවිතානලාට ඒ තරම් හයිකාරකම් කොරන්ට බැරුවාය…කොටිම්ම කිව්වොත් ඒ මහා සද්දන්ත වළව්ව ගරා වැටී, අද ඔවුන්ට රතුවිතාන කියන වාසගමත් නැතිවෙලාය….ඒ උනත් රුබේරුවා උපන්නේ ඒ වළව්වේ මුදුන් සමයේය….රුබේරුවා උපන්ගෙයි මරුමුස් වෙලා තීන්නේ ඒ නිසාය….
පිඹගෙන ආපු රුබේරුවා ආ අතින්ම අමාරිසාගේ බෙල්ල මුලින් අල්ලාගෙන තල්ලු කරගෙන ගොස් ගහකට හේත්තු කලේය…දැන් රුබේරුවා අමාරිස්ට හිටු කියලා සබ්බුව දෙයි….”ඩිෂා…ඩිෂා” සද්දේ අපේ ගෙදෙට්ටත් ඇහෙයි….අමාරිසා පුල් අන්දොස් වෙලා මර ළතෝනි දෙයි…
“ආයි…ආයි…..රුබේරු අයියේ…අම්මෝ…!…ගහන්න එපෝ…!…බෙල්ල, බෙල්ල, ආයි, ආයි…!….අම්මෝ…!…බුදු තාත්තේ මාව බේර ගනියෝ….!…මෙන්න රුබේරුවා මාව මරන්න තනනෝ…!…අම්මෝ…!”  
ගමේ උන් රුබේරුවාට උජ වඩති…“එළ රුබේරු අයියා….කමෝන් රුබේරු…!…ඇර රුබේරු ඇර…!…කම්බස් කරපව් පුතේ ඕකා…!” .. රුබේරුවා දැන් ගමේ උන් අතර සුපර් ඉස්ටාර් කෙනෙක් වේගෙන එනවාය….ගමේ කෙල්ලෝ රුබේරුවාගේ පිම්බිච්ච මස් ගොබ එහෙට මෙහෙට හෙළවෙන හැටි බල බලා චීත්ත නෙරියේ අත පිහිනවාය…කොමළ කොරනවාය….ඉඟි බිඟි පානවාය….
මේ උජ වඩන පිරිස අතර ඩොනල්ඩ් හාමු සහ හාමුගේ චක් ගෝලයන් බලා සිටිති…උන් බලාගෙන ඉන්නෙ සන්තෝසයෙන් නම් නොවන බව උන්ගේ මූණු වල ඉරියව් වලින් පැහැදිලිය….උන් බලාගෙන ඉන්නෙ පිටතට පෙන්නන්න බැරි දුකක් පපුතුරේ හංඟාගෙනය….ගම්මු ඉඳහිට හාමු මහත්තයාගේ මූණ දිහා බලන විට මොනවා හරි කියා තොල් මතුරයි….”හරි නම් තමුන් කරන්ට ඕන වැඩේ රුබේරුවා නොමිළේම කරලා දෙන නිසා ඩොනල්ඩ් හාමුත් සන්තෝසෙට අට ඉස්බක් උඩ පනින්ට ඕනෑ නේදැයි” ගමේ එකීලා මුණු මුණු ගාති…ඒත් ඩොනල්ඩ් හාමු රුබේරුවා අමාරිසාගේ ගිරිය මිරිකන දෙස නිසලව බලා සිටියි….බැරිම තැන ඩොනල්ඩ් හාමු කට දමයි….
“රුබේරු…රුබේරු….ඔය ඇති යකෝ…!…ඕකා මැරිලා යයි ඔහොම ගහන්න ගියොත්”…..
“හාමු මහත්තයා මේ…!..මේක මායි අමාරිසයි බලාගන්නන් අරි….?…හාමු මහත්තයා තත්තෙ තියාගෙන ඔතනට වෙලා හිටියොත් හොඳයි…” .. ඒ මරුමුස් රුබේරුවාගේ පිළිතුරයි….
“හරි හරි රුබේරු…ඕකා නසරාණියා තමයි… ඒ උනාට මේවා විසඳන ක්‍රම තියෙනවනෙ….අපි ඕකාව උසාවි ගෙනෙහින් අච්චු කරමු….ඔහොම ගහල මරන එක මේ ගමටත් හොඳ නෑනේ…”
“ඩොනල්ඩ් හාමු මේ…!…අම්මට හු*න කථා කියන්න එපා…!..මූ මේ ගමට මෙච්චර විනාසයක් කරා හාමු මහත්තයා දැක්කෙ නැද්ද…?…ඇස් පොට්ට වෙලාද හිටියේ….මූව උසාවි ගෙනිහින් අච්චු කරන්න කල් සූඩේ වෙලා තියෙයි….මම මූව අද මෙතනම උඩු කුරුඤ්ඤං කොරනවා…..ඉඳා…..”……”ඩිෂා….ඩිෂා”….
දැන් අමාරිසාගේ පණ යන්න ඔන්න මෙන්නය….උගේ මූණ නිල් වෙලා, ගිරිය රතු වෙලාය….රුබේරුවා මරු නිළම බල බලා සබ්බුව දෙයි….ගම්මුද උඩ පනිති…..
ඩොනල්ඩ් හාමුට දැන් රුබේරුවාට දෙකක් වනා අමාරිසා බේරා ගන්නත් බැරිය….මොකෑ කිව්වොත් ඩොනල්ඩ් හාමුවා ඔය වීර පුරුසයා වගේ උන්නට රුබේරුවාට පට්ට බයය….රුබේරුලාගේ රතුවිතාන වලව්ව දැන් තිබ්බ තැන්වල ගසුත් පැළ වෙලා තිබුණත්, ඒ කාලේ ඇඳන් යට හංගාපු කඩු කිණිසි, බෝර දොළහවල් තාම රුබේරුවාට තියෙනවාය….අනික රුබේරුවා කියන්නේ පැටි වයසෙ ඉඳන් මේ ආයුධ පාවිච්චි කොරන්න ඉගෙන ගත්තු එකාය….ඌට මළ පැන්නොත් ඔය කොච්චර ආටෝප තිබ්බත් ඩොනල්ඩ් මුදන්නායක වළව්වටත් හාන්සි වෙන්නම වදිනවාය…..රුබේරුලාගේ පරම්පරාවෙ එවුන් මළාට ගේමක් අතාරින්නෙ නැත….උන්ව පතබාවන්න හිතන් ගියපු හයේ හතරේ චණ්ඩි ඔක්කොම අන්තිමට එළියට ආවේ අමුඩ කෙටිත් නැතුවය….රුබේරුලාට නැති වෙන්න දෙයක් නැති නිසා, උන්ගේ ඇහි පිල්ලමේ හරි පණ තියෙන කල් ගේමය….නැතිවෙන්න දෙයක් නැති එවුන්ට ඩොනල්ඩ් හාමුලා හරිම බයය….මොකද ඩොනල්ඩ් හාමුලාට නැතිවෙන්න දේවල් ඕනෑ තරම් තියෙන නිසාය….ඒ නිසා අපේ වගේ හිච්චි ගෙවල් වලට දාන සත්තම් රුබේරු රතුවිතානලාට දාන්න ඩොනල්ඩ් හාමු යන්නේ නැත….
අනිත් අතට වෙන දෙයක් වෙච්චාවෙ කියා ඩොනල්ඩ් හාමුට අමාරිසා බේරා ගන්න ඉදිරියට පනින්න විදියකුත් නැත…මෙච්චර කළක් ග්‍රාම සංවර්ධන සමිතියේ සහ පන්සලේ හතර පේරුවේ දායක සභාවේ “මනුස්සකම, දයාව, කරුණාව” ගැන මුදුන් ලීයෙන් බේරෙන ටෝක්ස් දුන්නු ඩොනල්ඩ් හාමුට ඉස්ත්‍රී දූෂක, මිනී මරු, කාපාලුවෙක් බේරගන්න කලිසමක් ඇඳගෙන යන්ට බැරිය…..ගියොත් රැස්වී සිටින ගම්මු ඉදිරියේ හාමුගේ සළුපිළි ඌර්ධවපාතනය වනු ඇත….
අමාරිසා විලාප කියනු ඇසේ….ඩොනල්ඩ් හාමු අහක බලා ගනියි….හාමුගේ ඇහේ කඳුළකි….ඒ අවජාතකයා වුවත් අමාරිසා තමුන්නේ පුතා නිසාය….මොන අසමත්ජාති වැඩේ කළත් තාත්තාගේ ලේ දරුවන් වෙනුවෙන් හැමදාම කකියනවාය….ඒක ඉර හඳ පවතින තුරු එහෙමය…..
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදිය…..
( සියළු නම් ගම් මනං කල්පිත වුනත් සිරියාවේ මේ වනවිට පවතින “අයි.එස්.අයි.එස්” (ISIS) අර්බුදයට සහ ඊට රුසියාව සහ ඇමරිකාව දක්වන ප්‍රතිචාරයන්ට  කැමති කෙනෙක් සම්බන්ධ කර ගත්තාට කමක් නැත…. ) 

නිදහස් දවස නොදැන සිටි එකී හම ගැසීම….

ආයිස් අප්පඩා…!…ඕන්න මේ සුමානෙ සයිබරයේ ඉන්න වීරෝධාර විරුවන්ට මරාගෙන කන්න, රෙදි ගලවලා හම ගහන්න උණු උණු නර බිල්ලක් ලැබිලා තියෙනවා….දැන් ඉතින් සාරයි සාරම්මා…!…ආයෙ සති දෙකකට බස් එකේ ජැක් ගහන්න ඕනෑන්නෙ නෑ අසහනේ පිටකරගන්න…!….ගෙනෙන් ඕකිව පිට්ටනිය මැදට…!.. ගලවපියව් රෙදි…!…ගහපියව් ගල්…!….අර සුජී සීන් එකේ ගෑණු කෙනා වගේ මැදි වයසෙ කෙනෙකුත් නෙවෙයි…!…ඉටිකිරිස් ළමිස්සියෙක්…!…

මේ දවස් වල සයිබරේ හෙලුවෙන් වනන ( සිංහලයෙන් වර්ණනා කරන ) ජනතාවට කුණු කසළ කවන ගොසිප් මාධ්‍යවේදීන්ට ධන ලක්ෂ්මී යෝගය ලබලා….එකක් යනකොට එකක්….හම්මා මෙහෙමත් අවුරුදු ! … කොයි ගෙරියද යකෝ කිව්වෙ හැමදාම අවුරුදු නෑ කියන අමන කථාව….?…මේ තියෙන්නෙ මදි නොකියන්න….සෝඩා එපා…!…වෙන ප්‍රශ්ණ එහෙම අපට නෑනේ….!…ඔය මොකක් හරි කොරන්න එපැයි ටයිම් පාස් කරගන්න…!…

දැන් පොඩ්ඩක් සීරියස් වෙමුකො…..සතිපතා මේ වළට ගෑණි‍යෙක් ගෙනත් දාලා, ඒකිව සමූහ දූෂණය කරන එකට සමාජයක් වශයෙන් ඇබ්බැහි වීමේ භයානක කම අපි වගේ ගොන් බඳින කණු වලට වැටහුණාට මේ රටේ බුජ්ජිමත් ජනතාවට වැටෙහෙන්නෙ නැතුවා…..ඒක පැත්තක තියලා අපි දැන් මේ වෙච්ච දේ පොඩ්ඩක් බලමුකො….

කුණු මස් කෑමේ ආශාව ඇති කිරීම 

සනුද්‍රි නෙමෙයි, ඔය අද කාලෙ හතු පිපෙන්නා වගේ එන නිළියො, මොඩ්ල්ස්ලා, අරකිලා, මේකිලාගෙන් අති බහුතරය කේප්ප වැස්සියො, එළදෙන්නු තමයි…ආයෙ ඕකෙ අමුතුවෙන් සුද්ද කරන්න දෙයක් නෑනේ….ඒ වගේ එළ වැස්සියෝ ජනමාධ්‍යයට ගෙනල්ලා උන්ගෙන් සඳ මෝරන ටෝක්ස් බළාපොරොත්තු වෙන උන් ඊටත් වඩා දැවැන්ත ගවයන්….ඒ එන එකීලගෙන් සාස්ත්‍රීය ප්‍රශ්න අහලා උන්ව බයිට් එකට ගන්න මෝල් වහන්සෙලා ඒ සේරටම වඩා වටිනා ජාතික පුත්තු දූලා….මේ ගව සම්පත ඉල්ලුමේ සහ සැපයුමේ ප්‍රතිඵලයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ….ප්‍රේමකීර්තිලට, සීලානන්දලට, අරුන් ඩයස් බණ්ඩාරනායකලට, විජය කොරෙයලට, වැඩසටහන් මෙහෙයවන්න ඉල්ලුම තිබ්බෙ ඒ කාලෙනෙ…ඒ ඒ කාලෙ ඉල්ලුමට අනුවනෙ…දැන් රූපවාහිනිය කියන එක තව දුරටත් සුඛෝපභෝගී භාණ්ඩයක් නොවී සමාජයේ අපරි ව්‍යුහගත උනාම, ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් දෙනව මිසක් ආයෙ මක්ක කියලා කොරන්නද?….ඔන්න ක්‍රමානුකූලව ප්‍රබුද්ධ මාධ්‍යකරණය විසින් හසුරුවලා ඒ හඳුන්වා දීම කරා නම්, රටත් වෙනස් කරගෙන, අපිත් වෙනස් වෙලා දියුණු තැනකට යන්න තිබුණා….අපි පොඩි කාලේ “අධ්‍යාපනය සේවය” කියලා එකක් මගින් අපට උගන්නපු දේවල් තාම මතකයි….

“ආලෝක කිරණයක් සඳට ඇඳී විත් පරාවර්තනය වේ… හිරු සඳු අතරට පොළව හරස් වෙයි – චන්ද්‍ර ග්‍රහණෙ මෙයයි”

කියන ගීතය අධ්‍යාපන සේවය සිහිබුද්ධියෙන් බලපු ඕනම කෙනෙක්ව ක්ෂණිකව ජාතික රූපවාහිනියේ ඒ සාරවත් අතීතයට ගෙනියනවා….”තෙලිතුඩ” කියන වැඩසටහනේ තේමා වාදනය 80 – 90 දශක වල ළමා කාලය ගතකරපු කවුරුත් දන්නවා….නව යොවුන් තාරුණ්‍යයට ඒ කාලේ ආමන්ත්‍රණය කලේ සුපිරි වැඩ්ඩෝ ටිකක්….ඒ අය දායාද කරපු දේවල් නිසා හුඟ දෙනෙක් හිතන පතන විදිහ වෙනස් උනා….

ටිකෙන් ටික, දැඩි සංයමයකින් යුතුව සමාජය වෙනස් කරන්න හදපු විද්‍යුත් මාධ්‍යකරණයේ රෙද්ද කඩලා දැම්මෙ සිරස මාධ්‍ය ජාලය….විලි ලැජ්ජාව කියන සාධකය ටිකෙන් ටික අමතක කරලා, ප්‍රමිතිය, අන්තර්ගතයේ ගුණාත්මක භාවය බල්ලට දාලා, ප්‍රබල කියවීමක් සහිත ඇත්තන් අතින් සිදුවුනු සංස්කරණය අමතක කරලා, ඕන වඳුරු කුණු ගොඩක් ගුවන් ගත කරන්න පුළුවන් වෙන ගාණට ලාංකික පොදු ජනතාවගේ චින්තන අවකාශයට කඩා වදින්නන් විපරිණාමය කලේ සිරස…සිරස අල්ලලා දුන්නු බැටන් එක අරගෙන දුවපු එතැන් සිට බිහිවෙච්ච අනිත් පඩත්තල මාධ්‍ය සිරසටත් එහා ගිය කාබාසිනියා කිරීමක් කළා…..

ඒ විදියට තමයි අද මේ තියෙන පිරිහිච්ච, අතිශය සරල, තුට්ටු දෙකේ බහුජන මාධ්‍යකරණය බිහිවුණේ….

“වේලාව මධ්‍යහ්න දොළහ පසුවී විනාඩි හතළිස් පහයි…මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි….මෙන්න ප්‍රවෘත්ති…ප්‍රකාශය තිස්ස ජයවර්ධන / රම්‍යා වනිගසේකර”

කියනකොට මුළු රටම හෙල්ලිලා ඉන්නවා…ඒකෙ ගාම්භීර බව ඇඟට දැනෙනවා…ඒ කාළයේ ඉඳලා,

“සොහොනි දන්නවද ලේටස්ට් නිව්ස් එක? ඊයේ ඉඳලා පෙට්‍රල් වැඩි කරලා…”

“අහා…කියන්න බලන්න කීයකින්ද කියලා?”

“අපිට ආපු නිව්ස් එකේ හැටියට රුපියල් පනහකින් තමයි වැඩි කරලා තියෙන්නෙ”

කියන කාළය දක්වා ලාංකික විද්‍යුත් මාධ්‍ය විපරිණාමය වුනේ මේ විදියට තමයි….පොත පත කියවපු, වේදිකාව, සිනමාව දිග්විජය කරපු, ප්‍රඥාවන්ත මිනිස්සු අතේ තිබුණු සමාජ ආමන්ත්‍රණය අන්තිමට ඕජස් ගළන මළ මිනියක් උනත් ගජරාමෙට විකුණගන්න පුළුවන් අය අතට ගියා…ඉහත කී බුද්ධිමතුන්ට, උගතුන්ට, මේ හැළි වඳුරන් නිර්මාණශීලීත්වයට මුවා කරගෙන ජන විඥාණයට ඉදිරිපත් කරපු කුණු කරවළ රසය සමග තරඟ කරන්න බැරි උනා….ඒ අය විසි වුණා…විසිවෙලා, හිතල හිතල ලෙඩ වෙලා, හිඟන්නො වෙලා මැරුණා….

මේ ප්‍රපංචය ලාංකික ජන සමාජයට විතරක් ආවේණික වුණු දෙයක්ද?…මම හිතන්නෙ මේක මුළු ලෝකෙටම මේ වෙනකොට අදාළ ශිෂ්ඨාචාරයේ ගරා වැටීමක්, වල් බිහිවීමක් කියලයි….

මස් පිණිස සතුන් ඇති කිරීම 

සමාජ රසඥතාවය ඒ විදියට අමු අමුවේ කුණු මස් කෑමේ ආශාවක් දක්වා පහළ දැමූ පසුව මේ මාධ්‍යයන් විසින් ඊළඟට කරන්නෙ කුමක්ද?….

ඔන්න දැන් කුණු මස් කන්න ඉල්ලුම තියෙනවා….මේ ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න අවශ්‍ය මස් පිණිස ඇතිකරන සත්තු….දැන් මාධ්‍ය ආයතන කරන්නෙ ඒක…විවිධ ක්‍රමවේදයන් මගින් ඔවුන් සතුන් ඇති කරනවා….මේ නවක නළු නිළියන්, නිරූපිකාවන්, නිවේදකයන් සහ නිවේදිකාවන්, මිස්, මිස්ටර් එක එකා, මේ අය තමයි උදාහරණ….ඔය නිදහස් දිනේ නොදන්න එකීත් එක උදාහරණයක්….මේ අය හඳුනාගන්න ලේසියි….

1. ඔවුන්ගේ මුළු පැවැත්මම රඳා පවතින්නේ ඔවුන්ගේ ශරීරයේ අවයව කිහිපයක් මත….මේ අවයව ටික පවත්වා ගන්නා විදිහට අදාළ දේවල් හැර වෙන කිසිවක් ඔවුන්ට උගන්වන්නෙ නෑ…හරියට අර “Never Let me Go” චිත්‍රපටියේ අවයව ප්‍රධානය සඳහා ඇතිදැඩි කරන Donor දරුවන්ගේ ඉරණම වගේ….අවයව ටික පවත්වාගෙන ඒවා ආකර්ශණීය ලෙස ඉදිරිපත් කිරීමේ ශාස්ත්‍ර හැර අන් කිසිවක් ඔවුන් දන්නෙ නෑ….

2. ඔවුන්ව අපට මතක හිටින්නෙත් ඒ අවයව නිසා….

3. ඔවුන් රංගන කලාවට, සාහිත්‍යයට, අනෙකුත් කලා කර්මයන්ට දක්වන දායකත්වයක් නෑ…කොටින්ම කිව්වොත් උන් මෙළෝ මගුලක් ඒ ගැන දන්නෙත් නෑ…ඒත් ඔවුන් “කලා කරුවන්, නළුවන්, නිළියන් ලෙස අතිශයින්ම ජනප්‍රියයි”…

4. ඔවුන් හැම තැනම ඔබට පේනවා….හරියට අන්තර්ජාලයේ ස්පෑම් ලින්ක් එකක් වගේ….එකම තැනට විවිධ විදිහෙන් ඔබව යොමු කරනවා….උදා: මෙගා නාට්‍යය හැම එකේම ඔවුන් ඉන්නවා…හැම වෙළඳ දැන්වීමේමත් ඔවුන් ඉන්නවා….අවුරුදු උත්සවයක් තිබ්බොත් එතනත් ඔවුන් ඉන්නවා…”මාධ්‍ය දිනයක්, සයිබර් බ්ලොග් කරුවන්ගේ දිනයක්, මිතුරු හවුලක්, ක්‍රීඩා උත්සවයක්, රාත්‍රී සාදයක්” තිබ්බොත් එතනත් අනිවාර්යෙන්ම ඔවුන් ඉන්නවා….

කාඩේශියන් උදාහරණය ….

70-80 දශක වලින් පසුව අද මේ වනවිට ලෝක සමාජයේත් අවධානය කේන්ද්‍රගත කරගෙන ඉන්නෙ කවුද?…මහා සමාජ අර්බුද සිය සෙවණැල්ලෙන් වසාගෙන ඉන්නෙ කවුද?…කවුද මේ “කාඩේශියන්ස්ලා” කියන්නෙ…?….මොකක්ද අපිට මේ කාඩේශියන් සොයුරියන්ගේ තියෙන ප්‍රයෝජ්‍ය වටිනාකම..? ( උදේ හවහා කාඩේශියන් අක්කා නගෝ බල බල පොල් කළටි කඩන එකට අමතරව?) .. කිම් කාඩේශියන් වටා පරිභ්‍රමණය වන කාඩේශියන් සොයුරියන් මෙතරම් ධනවතුන් කලේ කුමන බලවේගයක් විසින්ද?….

මුලින්ම කිම් කාඩේශියන්ගෙ පුක ලෝකයේ බළසම්පන්නම පුක බවට පත්වුනා….අන්තර්ජාලය හරහා සහ වෙනත් සීමා විරහිත මාධ්‍ය හරහා කිම්ගේ ගුද මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය ගාසා තීරය ආශ්‍රිත ප්‍රදේශයට, මධ්‍යධරණී මුහුද, රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයට, ලතින් ඇමරිකානු කළාපය ආශ්‍රිත ප්‍රදේශයට, සහරාව ආශ්‍රිත ප්‍රදේශයට වඩා න්‍යෂ්ටිගත වුණා….අවධානයට ලක් වුනා….ලක්ෂ ගණනක යුද හමුදා, දහස් ගණනක් සන්නද්ධ රථවලට නොමැති බළ පරාක්‍රමයක් ලැබුණු මේ පුකට කැමරා මිලියන ගණනක ෆ්ලෑෂ් ගන්, ලයිට් වල එළිය වැටුණා…එහෙම එළිය වැටිලා ඒක දිළිසෙනකොට, ඒ කාඩේශියන් පවුලේ ඉන්න අනිත් ගෑණු ටිකත්, කිම් කාඩේශියන්ගේ පුකෙන් පරාවර්තනය වෙන ආලෝකය දෙසට තමන්ගේ පුකවල් සහ තන් ගෙඩි ඇල්ලුවා….ඒ ආලෝකය කර්ට්නි කාඩේශියන්, ක්ලෝ කාඩේශියන්, කෙන්ඩල් ජෙනර්, කයිලි ජෙනර් වගේ කිම්ගේ අළගිය මුළගිය හැම ඥාති බවලතියකගෙම තන්ගෙඩි සහ පුකවල් වලට වැටිලා, ඒවායින් පරාවර්තනය වෙලා, අවසානයේදි කාඩේශියන් පවුල “පුක් ග්‍රහ මණ්ඩලයක්” ලෙස ඈතට පෙනෙන තැනට ආවා…මරු නේද?….ඒ ආවේ නිකන් නෙමෙයි….ඒ තන් සහ පුක් හිමිකාරියන්ට දහසින් බැඳි පියළි, සිටු මාළිගා සහ විජයොත් රථයන් අරගෙන….

දැන් මේ  “කාඩේශියන් පෞක ග්‍රහ මණ්ඩලයෙ” ආලෝක ප්‍රභවය කිම් කාඩේශියන්ගේ පුකද?….නෑ….ආලෝක ප්‍රභවයන් වන්නේ කිම් කාඩේශියන් ඇයගේ පුක පානකොට, ඒක “Light up” කරපු මාධ්‍ය කාරයන්ගේ කැමරා ආලෝක පද්ධති….එතනින් එහාට ඒ කැමරා වල බොත්තම් ඔබන ඇඟිලි මෙහෙයවෙන දිග කථාවක් තියෙනවා….ඒ කථාව කියවා නොගෙන, ඒ ක්‍රියාදාමය ඔස්සේ කාඩේශියන්ලට ලැබුණු සැප සම්පත් මහෝඝයට අපි ඔවුන්ට පළු යන්න බැන්නාට ඵලක් නෑ….

මාධ්‍ය ද්වි-ගුණය 

බොහෝ විට අද දකින්න ලැබෙන්නේ මේ මොළය හිස්, කඳ බඩ විකුණාගෙන ජීවත් වන ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ ජීවිත සෞභාග්‍යමත් වීමත්, ඒ තත්වය කෙරෙහි සමාජයේ ඇතැම් කොටස් දක්වන ක්‍රෝධයත්, එකම කාසියේ දෙපැත්ත වීම...එකම දිශානතියකට ගමන් ගැනීම….සිද්ධිය සහ සිද්ධියට එරෙහිවීම යන දෙකම උත්තේජනය කරන්නෙත්, කරලා අවසානයේ විකුණාගෙන ලාභ ලබන්නෙත් එකම මූලාශ්‍රයක්...කිම් කාඩේශියන්ගෙ පුකට මේ සා බළයක් සහ වස්තුවක් ලබා දුන් මාධ්‍යම තමයි, පුකේ බළෙන් සිටු කුමරියක් වුනු කිම් කාඩේශියන් එසේ වීම ගැන ජනතාවගේ ඇතැම් කොටසකින් නැගෙන ක්‍රෝධය සහ විරෝධය විකුණන්නෙත්….හොලිවුඩ් ගොසිප් වෙබ් අඩවි සහ ඊනියා ටැබ්ලොයිඩ් සඟරා බැලුවාම ඔබට පෙනේවි මේ තත්වය….

සිද්ධිය සහ ප්‍රතිචාර 

එක් පසෙකින් කාඩේශියන්ලා යන යන තැන සිය අධි තාක්ෂණික තෙවැනි ඇස යවන මාධ්‍ය කරුවන් ඔවුන්ගේ සහවත සහ නිරුවත යන දෙකමත් සමග ඔවුන්ගේ එදිනෙදා චර්යාවන් සියල්ලගේම අතිශය ක්ෂුද්‍ර ක්ෂතිය දක්වාම ඡායාරූප හෝ වීඩියෝ ගත කරලා සමාජගත කරනවා….ඒවා සමාජයට ද්වි-දිශා සන්නිවේදනය කරන්න පුළුවන් අන්තර්ජාලය තුළ වෛරසාභිනයෙන් ප්‍රචාරය වෙනවා…

මේක දකින කාඩේශියන්ලා මාධ්‍යයන්ට උවමනා දේ සැපයෙන්නට ඉඩ හරිනවා…උදා: 2012 දි කර්ට්නි කාඩේශියන් කහපාට කොට සායක් ඇඳගෙන මයෑමි (Miami) වල ඔවුන්ගේ නවාතැනක බැල්කනියකට ඇවිත් නටනවා…කැරකෙනවා…සායට හුළං බදන බව දැන දැන ඒක උඩ යන්න ඇරලා බොරු ලැජ්ජාවක්  පෙන්නලා අල්ල ගන්නවා…පසුවදා ටැබ්ලොයිඩ් මැගසින් කටු වල පිටු පුරවලා කර්ට්නිගේ යට ඇඳුමෙ ෆොටෝ…මෙතනදි කාඩේශියන්ලා කරන්නේ මාධ්‍යයට උවමනා දේ වික්ටෝරියානු සභ්‍යත්වයේ සීමා තුළ ඉඳගෙනම සැපයෙන්න ඉඩ හරින එක…කෙළින්ම බැල්කනියට ඇවිත් සාය උස්සලා “ගනිල්ලා ෆෝටෝ!” කියලා පෙන්නනවට වඩා ශිෂ්ඨ විදියට ඒක කරලා, ඊට පස්සෙ ඒ මාධ්‍ය වලටම Interview එකක් දීලා කියනවා “මට මාර ලැජ්ජාවක් උනේ අනේ !” කියලා….එතනදි කරන්නෙ අර මුලින් රඟ දක්වපු නාටකයට හඬ කවන (Dubbing) එක….

දැන් මේවයේ අතුරු ප්‍රතිඵල නිසා මේ අයට විශාල මුදළක් ගලා එනවනෙ…ඒ එන මුදල් වලින් මේ ගොල්ල ෆෙරාරි කාර්, අධිවේගී සුපිරි බෝට්ටු, මන්දිර, හෝටල් හෝ මුහුදු වෙරළවල බංගලා ගන්නකොට, අර්ධ- විදග්ධ සමාජයට සහ මධ්‍යම පාන්තික වෘත්තික සමාජයට යකා නගිනවා…ඇයි ඔවුන් වෘත්තිමය සුදුසුකම් පසුපස ලුහුබැඳ ගිහින්, සිය ජීවිතයෙන් වසර ගණනාවක් පොත් එක්ක ඔට්ටු වෙලා, දුක් විඳලා, විභාග කරලා තම නමට යටින් ඉංග්‍රීසි අකුරු රෑනක්ම එකතු කරගෙන හදාගන්න ජීවන මාර්ගයට මේ දේවල් අමු හීන විතරයි…මේ කපේදි ලබාගන්න පුළුවන් දේවල් නෙමෙයි….එක සුළු මොහොතකට කර්ට්නිගේ සාය උඩ ගිය එකේ ආර්ථික වටිනාකම, වරලත් ගණකාධිකාරිවරයෙක් සිය වෘත්තිය තුළ තමා වෙනුවෙන් මාසයකට ජනනය කරන වටිනාකම වගේ කිහිප ගුණයක්….ඉතින් යකා වැහෙන්නෙ නැද්ද බ්ං…?…

ඊට පස්සෙ ඒ සමාජය මොවුන්ගේ යස ඉසුරු කෙරෙහි සිය ක්‍රෝධය ඵල කරනවා…ඒ ඵල කරන්නේ වස්තු බීජයන්ගේ ස්ත්‍රීත්වයට සහ බොහෝ විට ඔවුන්ට පවතින නූගත්කමට නිග්‍රහ කිරීමෙන්….මෙසේ සමාජයෙන් විශාල කොටසක් කරන නිග්‍රහයට ගලා එන්න අවකාශය සළසා දෙන්නෙත් අර ඉහත කී සිදුවීම කරපු මාධ්‍ය කරුවන් තමා….ඔවුන් ඔවුන්ගේම මාධ්‍ය ජාලයන් හරහා හෝ ඒ හා බැඳුණු ගොසිප් උප සංස්කෘතියක් සහිත වෙනත් ජාලයන් හරහා අර ක්‍රෝධය ගජරාමෙට අළෙවි කරනවා…..

ලංකාවෙ කාඩේශියන් කාඩේශියන් සොයුරියන් කිහිප දෙනෙක්ම ඉන්නවා….කාඩේශියන්ලා කේන්ද්‍රගත කරගෙන පවතින අන්තර් ක්‍රියා ව්‍යුහයම ඊට වඩා කුඩා ප්‍රමාණයක ක්‍රියාදාම ගෝලයක් ලෙස මේ අයවත් වටකරගෙන පවතිනවා…කාඩේශියන්ලාගේ අංගෝපාංග වලට වැටෙන ආලෝකය ජනනය වන ආලෝක ප්‍රභවයේම සම ආරක ප්‍රභවයකින් තමයි මේ අක්ක නගාලත් Light up වෙන්නෙ….

ඉතින් දැන් මේ අයගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ දැනුමද?…සාමාන්‍ය දැනුමද…?…මොකක්ද?….මතක තියාගන්න, ඉස්සර Entertainment Industry එකේ හිටපු තරුණ කාන්තාවන්ගෙන් සමාජය බලාපොරොත්තු වුනේ පෘථුල යමක්…ඒ අයගෙන් ස්ත්‍රීත්වයේ ශෘංගාරය වගේම, රංගන කෞෂල්‍යය, භාවය, බුද්ධිය, වැනි බොහෝ දේවල් වල පොදු එකතුවක් ලෝකය බලාපොරොත්තු උනා….ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරලා සාර්ථක වෙන්න නිළියකට, චරිතාංග නිරූපණ ශිල්පිනියකට විශාල පරාසයක දේවල් අවශ්‍ය උනා….අද සමාජය ඊට වඩා Specific …ඔවුන් කෙළින්ම තමන්ගේ කායික අවශ්‍යතාවය ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය විෂය වස්තුවට තමයි අවධානය යොමු කරන්නෙ….ඒ කියන්නෙ පුරුෂාර්ථයේ අවශ්‍යතා සඳහා කාන්තා ශරීරයෙන් ලබා ගත යුතු අවයව වලට තමයි කෙළින්ම අවධානය දෙන්නෙ…ඔවුන්ගේ අධිවේගී ජීවන රටා තුළ ශෘංගාරය කලාව හෝ සාහිත්‍යය සමග එකට අරගෙන විඳින්න ඔවුන්ට වෙලාවක් නෑ…ඒකනේ “චන්දන මල් අතුරා ඇති යහනට – කන්ද කපා පායන් රන් පුන් සඳ”  කියලා ආදරණීයව ඇරයුම් කරනවාට වඩා “නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්ට සොඳා” කියන්නෙ…තව ඉස්සරහට සින්දු හැදෙයි “රෙද්ද උස්සපන්, රෙද්ද උස්සපන්…අහ..අහ…රෙද්ද උස්සපන්”  කියලා රැප් එකකුත් එක්ක…නැද්ද මං අහන්නෙ…?….

මේ වගේ සමාජයක නිළියකට ඒ ඉල්ලුමට සැපයුම දෙන්න වැඩි දෙයක් උවමනා නෑ….අර මූලික අවයව ටික විශාලව, වටකුරුව තිබීම පමණයි වාසනාව උදාකරගන්න අවශ්‍ය….මේ නිසා තමයි ඉතින් “නිකී මිනාජ්” අද ලෝකයේ වැඩිම රසිකයන් සහිත ෆේස්බුක් රසික පිටු වලට සහ වැඩිම දර්ශණයන් සහිත යූ ටියුබ් මියුසික් වීඩියෝ වලට උරුමකම් කියන්නෙ….නිකී මිනාජ්, කාඩේශියන් ඉඳලා ලංකාවේ නවක නිළි පරපුර දක්වාම කථාව මේකයි….ඒ ගොල්ලන්ට ජීවත් වෙන්න IQ, Intelligence වගේ දේවල් උවමනා වෙන්නෙ නෑ කියන එක ඔබ අවබෝධ කරගන්න ඕන….ගුද මාර්ගය අවට ප්‍රදේශය, උර කුහරයේ ක්ෂීර ග්‍රන්ථි තරඟකාරී විශාලත්වයකින් පිහිටා තිබීම හොඳටම ප්‍රමාණවත්…ඔවුන් කරන සහ දායක වන නිර්මාණයනගේ ගුණාත්මක භාවය කියන්නේ පසුබිමින් දිස්වන දිය සළකුණක් පමණයි….ඒක අදාළම නෑ….දැන් ඔය බටහිර ලෝකයේ “නිකි මිනාජ්, ජෙනිෆර් ලෝපෙස්” එහෙම “Ass, Ass, Booty, Booty, Bum, Bum” යන තේමාවන් සහිතව සින්දු හදාගෙන ඒවට මියුසික් වීඩියෝ කරන්නේ ඒකයි….කළාවෙන් හෝ සාහිත්‍යයෙන් තොරව අමු අමුවෙ අවයවය ඉල්ලනකොට, අවයවය දෙන්න තමයි ඒ අය සැදී පැහැදිලා ඉන්නෙ…

“සිද්ධිය” නිර්මාණය කිරීම 

ඉතින් මෙහෙම අය ගෙන්නගෙන ඔවුන්ගේ දැනුම මනින්නෙ මොන ලබ්බටද?….අනික මේ සිද්ධියට මූලික වෙච්ච මාධ්‍ය ජාලය නොදන්නවයැ තමන්ම හදපු මේ විපරීත සමාජයේ නියෝජිතයන්ගේ දිග ඵලල…?…උන් නෙ මේ අයට එන්න පාර කිව්වෙ….අම්මා දන්නවනේ දරුවගේ අඩුපාඩු ගැන, වෙන කවුරු නැතත්….ඉතින් එහෙමත් තියාගෙන මේ අය ගෙන්නගෙන ප්‍රශ්ණ අහන්නෙ ඇයි…?….ආන්න ඒක තමයි සිද්ධිය නිර්මාණය කිරීම කියලා කියන්නෙ….උන් සක් සුදක් සේ දන්නවා මේ වගේ එළ වැස්සියෙක් ගෙනල්ලා ඒකිගෙන් සාමාන්‍ය දැනුම ප්‍රශ්ණයක් ඇහුවත් අනිවා ඩෙෆා නාගන්නවා කියන එක….මොකද මේ කෙල්ලන් තමන්ගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම තම අඟපසඟ වලට ඌනනය කරගෙන නෙ ඉන්නෙ….එයින් බාහිර කිසිම දැනුමකට ඔවුන් අවධානය යොමු කරන්නෙ නෑ….මාධ්‍යයට උවමනා අන්න ඒකමයි…මොකද ඒකෙන් තමයි “සිද්ධිය” නිර්මාණය වෙන්නෙ…

දැන් ඔබට තේරෙනවද ඔබ විශාල ධනෝපායන මාර්ග ජාලයකට කිහිප ආකාරයකින් දායකයෙක් වෙලා කියලා?….

  1. ඔබ ඇය කොට ගවුමකින් සැරසී මුහුදු වෙරළේ ඉඳගෙන පෙන්වන දෙපා සහ වටොර බලලා ආශ්වාදයක් ගැනීමෙන් සහ ඇගේ බෝක්කුව පෙනේදැයි ඇසිපිය නොහෙළා බලා සිටීමෙන් එක් ආකාරයකින් මේ ධනෝපායන ජාලයට උදව් කරනවා…
  2. ඊට පස්සෙ ඇය දෙන මෝඩ උත්තර නිසා කෝපාවිෂ්ඨව ඒ ගැන වැඩි වැඩියෙන් තමන්ගේ මතය ප්‍රකාශ කිරීම මගින් මේ ධනෝපායන ජාලයටම උදව් කරනවා….
  3. ඊළඟට අන්තර්ජාලය සහ සමාජ වෙබ් අඩවි හරහා ඇයට වාචිකව පීඩා කිරීම මගින් මිශ්‍ර අසහනය මුදා හැර ආශ්වාදයක් ලැබීමට ගොස් මේ ධනෝපායන ජාලයටම තව විදියකින් උදව් කරනවා….
  4. දැන් තව ටික දවසකින් මේ කෙල්ල සමාජ වෙබ් අඩවියකදි ” අනේ මට සමාවෙන්න” කිව්වාම ඔබ “අන්නා…ස්වීට් නංගා බබා…වැරදීම් වෙනව තමයි පැට්ටෝ…ඔයා ඕවට නොසැලී ඉදිරියට යන්න” කියලා ඇයගේ හිස අත ගා ඈ හුරතල් කිරීමට යෑම මගින් මේ ධනෝපායන ජාලයටම තවත් විදියකින් උදව් කරනවා….

මේ එක් එක් අවස්ථාවේදි ඔබ දක්වන දායකත්වය වෙනුවෙන් ඔබට පිරිවැයක් දරන්න සිද්ද වෙනවා…ඒ තමයි විදුලි බිල්, අන්තර්ජාල පිවිසුම් ගාස්තු, දුරකථන ගාස්තු, කෙටි පණිවිඩ ගාස්තු සහ ඒ වගේ වැඩසටහන් ප්‍රචාරය වන අතරතුර වක්‍ර අළෙවිකරණය මගින් විකුණන දේවල් මිළට ගැනීමට යන වියදම….ඒ වගේම ඔබ අදාළ විෂය වස්තුවට ලබා දෙන ජනප්‍රියත්වය හරහා ඒ මාධ්‍ය ජාලයට එම වැඩසටහන සහ එම තරුණිය වෙනත් දිනෙක මීට වඩා වැඩි මුදළකට ව්‍යාපාරික ගැණුම් කරුවන්ට අළෙවි කිරීමට අවශ්‍ය කරන අස්පර්ශනීය වටිනාකම (Intangible Value) ඔබ විසින් සකසා දෙනවා…

මෙතනදි එකම විෂය වස්තුව, ඒ කියන්නෙ අර කෙල්ල, වටා දීර්ඝ Value Addition එකක් සහ Re-marketing Process එකක් ක්‍රියාත්මක වෙනවා….Re-marketing කිව්වාම ඔබට මතක් වෙන්නෙ විකුණගන්න අර එකම ලින්ක් එක නැවත නැවත ඔබට හමුවන්න අන්තර්ජාලයේ විවිධ තැන්වල ඇලවීම…ඔබ එකම අඩවියට විවිධ ලින්ක් හරහා යළි යළි පිවිසෙනවා….මේකත් ඒ වගෙයි…ඔබ එකම ලාභ ලැබීමේ ක්‍රියාදාමයට විවිධ තැන්වලින් යළි යළි දායකත්වය දක්වනවා….

දැන් අපි මෙතෙක් කියපු දේ සමාලෝචනය කරමු… මෙන්න මේකයි වෙන්නෙ…

1. වාණිජ මාධ්‍ය මගින් ඔබේ රසඥතාවය පහත හෙළා ඔබට කුණු මස් කෑමේ ආසාව ඇති කරනවා…ඒක කරන්නෙත් ඔබේ වියදමෙන්….

2. ඉන් පසුව ඔවුන් මස් පිණිස සතුන් ඇති කරනවා… ( අර ස්ටාර්, මේ ස්ටාර්, අරකි, මේකි, මූ ) .. ඒ සතුන්ව පෝෂණය කරන්න වියදම් කරන්නෙත් ඔබ…

3. එයිනුත් පසුව ඔවුන් ප්‍රසිද්ධියේ ඒ සතුන් මරා ඔබට මස් අළෙවි කරනවා…මස් වල අළෙවි මිළට අමතරව, සතා ඝාතනය කිරීමටත්, උගේ මස් කොක්කේ එල්ලීමටත් ඔවුන් ඔබෙන් මුදල් ගන්නවා…

4. අනතුරුව ඒ කුණු මස් කෑමෙන් ඔබට උදරාබාධයක් වැළඳී ඔබ කෑ මොර දෙනවිට, ඒ කෑ මොර දීමටත් ඔවුන් ඔබෙන් මුදලක් අය කරගන්නවා…

දැන් ඉතින් ඔබට තේරෙනවා ඇති නිදහස් දිනය නොදැන සිටීම ගැන ෂනුද්‍රිව උල තබන්නට උත්සාහ කිරීම සහ ෂනුද්‍රි නිදහස් දිනය නොදැන සිටීම යන මේ දෙකම එකම ක්‍රියාවලියේ කොටස් බව….

Josephine the Singer, or the Mouse Folk”

ෆ්‍රාන්ස් කෆ්කාගේ අවසන් කෙටි කථාව වන ” Josephine the Singer, or the Mouse Folk” යන නිර්මාණයේ එන යොසෆින්ට අවසන් වශයෙන් අවධානය යොමු කරමු….

අපි ඒක වඩා ඔබට සමීප විදියට කියමුකො “යොසෙෆින් සහ මීපුර වැසියෝ” කියලා…( කෆ්කා මේ අයට Mouse Folk කියන්නෙ ඇයි කියලා කවුරුත් දන්නෙ නෑ..)

මේ මී පුර වැසියන්ට ඉන්නවා යොසෙෆින් කියලා අපූරු ගායිකාවක්….ඇයට මහා ලොකු ගායන හැකියාවක් නෑ…ඒත් අතිශය දුෂ්කර, රළු පරළු ජීවිත ගෙවන මී පුර වැසියන්ට ඇය විරාමයක් සපයනවා…ඔවුන්ගෙන් සමහරු ඇයගේ ගායනය පිළිකුල් කරනවා….සමහරු ඇය අගය කරනවා….නමුත් ඔවුන් දෙපිරිසම ඇය ගායනය කරනවිට දැඩි අවධානයෙන් අහගෙන ඉන්නවා….ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරන්නේ මේ ගායනය අහගෙන….ඒ නිසා ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කෙරෙන්නේ අවිඥාණිකව….සවිඥාණිකව කෙරෙන එකම වැඩේ ඇගේ ගායනය පමණයි….ඇය ගී ගයනකොට ඔවුනුත් එයට සමගාමීව ඒ ගීයම ගයනවා….එතනදි ඔවුන්ට වැටහීමක් නෑ ඔවුන්ගේ ගායනයත් ඇගේ ගායනයට නොදෙවනි බව….

නමුත් වඩාත්ම වැදගත් වෙන්නේ ඇය ගී ගයනකොට ඇය සිටින ජනපදය පුරා පැතිර යන අපූරු නිහඬතාවය….මේ නිහඬතාවය තුළ ඒ ජනපද වැසියන්ගේ ඔවුනොවුන් මොන තරම් වෙනස් කම් තිබුණත්, මොන තරම් ප්‍රශ්ණ තිබුණත් ඔවුන් සුළු මොහොතකට එකඟතාවයකට පත්වෙනවා…ඔවුන්ගේ දුෂ්කර ජීවිත ඇය නිර්වින්දනය කරනු ලබනවා….ඇය ජීවත් වන ජනපදය ඇයව ගායනයේ පරමෝත්තම චරිතය ලෙස දකිනවා…ඇගේ ගායනයක් නොඇසුවෝ නම් ඒ කන් වලින් වැඩක් නෑ කියලා කියනවා….ඇය ඒ ජනපදයේ ගායනයේ සළකුණ ලෙස අභිෂේක ගන්වනවා….ඒ කාලෙදි ඒ ජනපද වාසියෙකු ලෙස පෙනී ඉන්න කථා ආඛ්‍යායිකයා කියන්නෙ මෙහෙම….

“Josephine is the sole exception, she loves music and also knows how to give a voice to it… she is the only one, and with her demise music will disappear for who knows how long from our lives.”

කොටින්ම කිව්වොත් ඇය නැත්නම් ගායනයක්, සංගීතයක් නෑ කියන තැන තමයි මී පුර වැසියන් ඉන්නෙ….

මේ යොසෙෆින්ගේ ගායනය ක්‍රමානුකූලව ආඛ්‍යායිකයා විසින් නිරර්ථක, දුර්වල දෙයක් බව අපට ඒත්තු ගන්වනවා…කල් පවතින කිසිවක් එහේ නැහැ….එහෙත් යොසෙෆින් තමන් ගැන ඉන්නෙ අධි තක්සේරුවක….තමන් ශ්‍රේෂ්ඨ ගායිකාවක් බවත්, තමන් කලාවට දක්වන අනුග්‍රහය උත්කෘෂ්ඨ බවත් යොසෙෆින් කල්පනා කරනවා….

එක් දිනෙක යොසෙෆින් අතුරුදහන් වෙනවා….ඇය තම ගායනයට ජනතාවගෙන් ලැබෙන හරසර සහ ප්‍රතිචාර මදි යැයි කල්පනා කරලා එම සමාජයෙන් ඉවත්ව ගියා කියල තමයි හැඟවෙන්නෙ…..හරියට අපේ රටේ කලාකරුවන්, නළු නිළියන් ඔය හිටපු ගමන් නො-එන්නම රට යන්නෙ…අන්න ඒ වගේ….ජනතාව ඈ නොමැති වීම නිසා සුළු මොහොතකට දුක් වෙනවා….දුක්වෙලා ආයෙමත් සුපුරුදු පරිදි තමන්ගේ එදිනෙදා වැඩටික කරගෙන යනවා…ඇයව ලෙහෙසියෙන්ම අමතක කර දැමීමට ඔවුහු සමත්වෙනවා….

මගේ සටහන ඒ කෙටි කථාවේ  අවසානයට කෆ්කා විසින් තබන ලද සටහනකින්ම අවසන් කරන්නම්….

“…So perhaps we shall not miss so very much after all, while Josephine, for her part, delivered from earthly afflictions, which however to her mind are the privilege of chosen spirits, will happily lose herself in the countless throng of the heroes of our people, and soon, since we pursue no history, be accorded the heightened relief of being forgotten along with all her brethren…..”

සමන්මලීට ආදරයෙනි | To Samanmali with Love

සමන්මලීට ආදරයෙනි | To Samanmali with Love

ආදරණීය සමන්මළී නංගි,

අනේ ඇයි සුදු නංගියේ අපිට මෙහෙම කලේ…?….උඹට උඹේ කොල්ලා ගහන වීඩියෝ එක වයිරල් වෙලා තුන් දොහක් යන්නත් කළින් “ඒක පරණ වීඩියෝ එකක්ය, ඌ මට ගහපු එක මට අවුලක් නැතුවාය” කියලා උඹ කියලා තියෙනවාය….ඒ මදිවාට උඹලා දෙන්නා ළඟදිම එක වහළක් යටට කූඩු වෙන්නත් ඉන්නවාය කියලා උඹ කියලා තියෙනවාය….යකෝ රෙදි ගලවනව කියල මෙහේමත් ගලවනවද නංගියේ?….සයිබර අධිකරණයේ මහා විශාරදයන්, විනිස්චය කාරයන්, ජූරි සභාව ආදි තනතුරු සිය කැමැත්තෙන් පවරාගෙන ඉන්න උත්තරීතර, උත්තම, සව් කෙළෙසුන් නැසූ, සයිබරයේ යමක් දුටු ඇසිල්ලෙන් ඒ හා සම්බන්ධ සිද්ධිය විචාරා දස දහසක් සක්වළ පිරික්සිය හැකි දිව්‍යඥාණයක් තියෙන, අපිට මේ සිද්ධියෙන් මොන…අ…අ…තරම් වැඩකිඩ ටිකක් පෙන්නන්න තිබ්බද?..උඹ අපේ රෙදි ටික ටික ගලවන්නෙ නැතුව මෙහෙම හිතක් පපුවක් නැති විදියට එක නූල් පටකින් ඇද්ද ගමන් කෝට් එකේ ඉඳලා ජොකා දක්වා ගැලවිලා එන විදියට ඇද්දේ ඇයි මගේ නංගියේ…?.

උඹ මේ අභද්‍ර ප්‍රකාශය නොකරන්ට, අපි දත කට මැදගෙන හිටියේ මේ සිද්ධිය ගැන තා මාසයක් විතර යනකල් අහස ගුගුරන, පොලෝ මහී කාන්තාව කම්පා කරවන, උත්තර ධ්‍රැවයේ ග්ලැසියර් දියවෙන, ඉන්දියන් සාගරය ගොජ දමන, හිරු හැව අරින, වඩ දිය බා දිය වන, පුර සඳ ලේ පැහැ ගැන්වෙන, කුකුළ්ලු පිහාඹින, හිම වළස්සු අත් මුදුන් දෙන, ඇනැලිසිස්, ලිපි, මහා ප්‍රකාශ, අරවා මේවා කන්ටේනර් ගාණට දාන්න නේද?… එහම උනා නම් මෙළහකට සිංහල බෞද්ධයන් තරම් පාදඩ, පඩත්තල, පාපතර, ප්‍රහාරාත්මක, ප්‍රසංදවේදනීය, උප පජ්ජ වේදනීය, චේතීය, ලොන්ත, පාහර ජාතියක් තවත් මේ සිරි තුන් තළේවත් නැතුවාය කියලා පට්ට පතුරු ඇරලා දෙන ආටිකල් කියවලා අපිට කී දෙනෙක් නම්:

“අයියේ / අක්කේ / මල්ලියේ / නංගියේ උඹ මාර රැඩිකල් බං…උඹලා වගේ තව දහ දෙනෙක් උඹලාගේ අම්මා වැදුවා නම් මේ ග්‍රහ ලෝකෙ මේ වෙනකොට සැවැන්දරා සුවඳ හමන තනි යායක් නේද බං….?…උඹේ කළලය විකසනය කරපු යුක්තාණුවත් සුවඳයි බං…”

වගේ විවරණ කීයක් දීලාද ?

රත්තරං නංගියේ..උඹ මේ පඩත්තල පඳුරු වැඩේ නොකරන්න අපි මේ සුමානේ පෝස්ට් කරන්න ලියල තියාගෙන හිටපු සංකීර්ණ සමාජ විශ්ලේෂණයක කොටසක් මේ…

” මෙහිදී සිදුවන්නේ සිංහල බෞද්ධ ප්‍රාගුණ්‍ය කම්පනය වීම මගින් විරෝධතාවයන් විතණ්ඩනය කරන ප්‍රභාසංස්ලේෂණ භ්‍රාන්තීන් ප්‍රකට බ්‍රහ්ම තාණ්ඩවය මගින් උද්දීපණය වීමේ ප්‍රතිඵලයක් ලෙස මානව කක්කල් කැස්ස උද්වේගය සහ ද්වේෂය අතර පරමිති බෙදන ඛණ්ඩන ලක්ෂය ඔස්සේ සමපාත වෙනවා… එහිදී ද්විගුණ, ද්වි-පරාමිත ද්විඝටන වල ගැටෙන නමුනුකුළ කඳු වැටියේ අපරාපරිය ප්‍රභේදයක් ජන සමාජය නූතනත්වය සහ ප්‍රාග් ඓතිහාසිකත්වය අතර විකර්ණ කරනවා… මේ විකර්ණය මත තමයි අපි කිරිබත් උයාගෙන කන්නෙ…. මෙහි න්‍යෂ්ටිය පිළිබඳව පවතින අසාදුක කියවීම නිසි අයුරින් පරිපාලනය කරගැනීමට අපොහොසත් වීම සාමාජීය දේවදාර ලක්ෂණයන්ගේ ඛේදාන්තයක්… මෙන්න මේ ෆැන්ටසියේ ආවේග ශීලී ස්මෘතිය තමයි සමන්මළීට කම්මුල් පහරක් වෙලා විකිරණය වෙන්නෙ… මිෂෙල් බැන්ඩරෙරියෝ ගේ  “බෙයාර්ස් ෆාට්” ප්‍රසව විධිත ප්‍රකාශයේ සිංහල පරිවර්තනය වුන “වළස් පැඩ්ඩාව” කියවාගත් කෙනෙකුට මේක අවබෝධ කරගන්න එච්චර අමාරු නෑ..”

ඉතින් සුදු නංගියේ අපි මේ ලිපිය දැන් ඵල කරන්නේ කාටද කියහං? … මොන ලබ්බෙන්ද බං අපි මේ ඉස්සරහ සති දෙක අදින්නෙ…?… අපි තව උඹට කවි පන්තියකුත් ලියාගෙන ආවා විතරයි “කට පුංච” එකේ ඵල කරන්න….ඒක ලියල ඉවර කරගන්නවත් දුන්නද උඹ….?… මේ තියෙන්නෙ ඒකෙන් කොටහක්…

“නුඹේ සඳ බඳු මුහුණ මැඩලා….
ඒ යකා දැම්මා ඇදලා…
ඉදින්, නැගණිය කියන් මා හට….
සඳ කොඳ මල් කෙසේ නම් වාවත්ද….
මේ කරුම දූපතේ…
ගොම්පස් සහ කොහුබත් එක පැළේ…..
නුඹට පෙම් කරන විටදී…
තල්ලු කෙරුවා ගුටි දිදී….
මෙවැනි කවි නොලිව්වොත් හරි මදී…
ජනතාව අපට බැණ වදී….
අඳින්නෙ මොකටද අපි රෙදී….
නොබෙදා ඌට පරිප්පු හොදී….
අපේ සාපය වැදී….
උගෙ ඇසක් තඩිස්සි වෙන ලදී….
රහසින් ඔබට පෙම් බඳී….
ජනතාව ලෙස හුදී…
මෙතැන් සිට අපි ඉමු – නොක පුදී….

දැන් අපි මේ කවිය දාන්නේ උඹෙ අ**ගෙ රෙද්දෙද කියපන් යකෝ…? ….ගින්නක් නැතුව දවස් පහක් ඇදගන්න තිබ්බ කවිය… ලයික් පාළොස් දාස් දෙසිය විසි අටක් එක්ක ෂෙයා තුන්දාස් දෙසිය හැත්තෑවක් අරගෙන ඊළඟ වතාවේ “හුලි අකායි” ජපන් සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම විදේශීය කවියට හිමි සම්මානය ගන්න අපි මොන වගේ හීනයක්ද දැක්කේ…? … ඒ වෙනුවෙන් ගිය ඩේටා අපිට ආපහු දෙන්නෙ උඹේ අර දිගන්දරයද?… හෙමත් නැත්තන් අර කැමරාව අල්ලපු කැ* චාමරයද? …හොඳ වෙලාවට මේ ලිපියයි, කවියයි අපි ඵල කරල තිබුනේ නෑ… තිබුණා නම් අපිට තියෙන රෙදි පාන්කඩ ටික පාරෙ හිඟාකන ළමෙකුට දීලා හුලං ටිකක් වැදි වැදි ගෙදර යන්න තිබුණා….

ලියාපු දේවල් කන්දරාව ඵල කරගන්න තිබ්බ චෑන්ස් එක නැති උනා කියලා ආරංචි වෙච්ච මොහොතේ ඉඳන් මේ ඇහෙන් වැටෙන කඳුළක් කඳුළක් ගානෙ උඹ වන්දි ගෙවන්න ඕන…කොල්ලෙක්ගෙ කඳුළු කියන්නෙ යකෝ….!

මීඩියා කාරයන්ට බේකින්ග් නිවුස් කානිවල් එකක් කොරන්න තිබිච්ච චෑන්ස් එක නේද උඹ මේ තිරිසන් විදියට කාබාසිනියා කරලා දැම්මේ….? ….උඹව කොටියම කන්න එපැයි නේද? …ආයෙ නම් පුතෝ ඕකා උඹේ අතපය හතර බැඳලා මූදට විසිකළා කිව්වත් මේ අයියලා නෙමෙයි ඇහැක් ඇරලා බලන්නෙ….!..

මීට වඩා හොඳ අපිට හෙණ ගහලා අකුලෝලා ගියා නම්…!

ප.ලි. ඔව් මේ බ්ලොග් එක දුන්නා ළමේකුට.. ඌ තමා ලිව්වෙ..

ග්‍රීසියේ ඛේදාන්තය, පළමු කොටස | Tragedy of Greece, Part the First

ග්‍රීසියේ ඛේදාන්තය, පළමු කොටස | Tragedy of Greece, Part the First

ස්ථානය: ඇටිකාව, ඇතන්ස්, නැගෙනහිර ග්‍රීසිය
කාලය: ක්‍රි.පූ. 508
කර්තෘ අඥාතයි.

ආදරණීය පුතේ,

මේ ලිපිය නුඹට ලියන්නේ, මේ වචන ටික නුඹට දකින්නට අවස්ථාව නොලැබේවායි හදපත්ලෙන්ම පතමිනුයි.. උදාර ඇතීනියන් රණකාමියකු ලෙස සහ දෙවියන් හටද නෑකම් ඇති, සියවස් ගණනක් පැරණි පෙළපතක සාඩම්බර හිමිකරුවකු ලෙස මා සතු අවසන් ධෛර්යය සහ ශක්තිය කැටිකොටගනිමින් ලියන මේ වදන් පෙළ නුඹට දකින්නට ඇති එකම අවස්ථාව වන්නේ මා මේ ගමනින් පණපිටින් ආපසු නාවොත් පමණයි.. මා නැවත පණපිටින් ආපසු ආවොත් මීට වඩා බෙහෙවින්ම වෙනස් කතාවක්—ඔව්, වීරත්වයෙන්, ඖදාර්යයෙන් සහ ජයග්‍රහණයෙන්, ආහ්, ජයග්‍රහණයෙන්!—පිරුණු කතාවක් නුඹට කියන්නට හැකි වේ යැයි මම උදක්ම අපේක්ෂා කරමි.. 

H2_5Herakles

ලෙයින්, කඳුළින් සහ වීරත්වයෙන් ඔප්නැංවුණු නුඹේ වීරෝදාර මී මුත්තාගේ කතාව නුඹට අමතක නැතැයි මම සිතමි.. සමස්ත හෙලනිකාවම (ග්‍රීසියම) සිය බාහුබලයේ සහ විචක්ෂණ බුද්ධියේ අනුහසින් අතික්‍රමණය කළ සාඩම්බර මෙනලාවූස්ගේ ඉදිරි සන්නාහ බලඇණියේ අණදෙන නිලධාරියා ලෙස ට්‍රොජන්වරුන්ට එරෙහිව උදාර සටනක නියැලි නුඹේ මී මුත්තාට තිබුණේ ද, නුඹේ මිත්තණියට මෙන්ම අළුපාට ඇස් බව මා නුඹට කියා ඇතැයි සිතමි.. සුවහසක් ට්‍රොජන්වරුන්ගේ සොපහාසී සිනාව කඳුළක් බවටත්, ඔවුන්ගේ භාර්යාවන්ගේ අහංකාරභාවය දාසභාවය බවටත්, ඔවුන්ගේ දූ දරුවන්ගේ සුඛ විහරණය වහල්භාවය බවටත් පෙරළු ඒ මහා ජයග්‍රහණයට නුඹේ මී මුත්තා විසින් කරන ලද මෙහෙය සුළු පටු නොවූ නිසාය, ඔහු මෙනලාවූස් අතින්ම වරදාන ලද්දේ.. එහෙවු අභිමානී පරම්පරාවක උරුමක්කාරයන් වන අපට, ඉතිහාසය නැවත වතාවක් අපේ ලේ වල සවිය ඔප්පු කර පෙන්වීමට නිසි වේදිකාවක් සකස්කර දීම ගැන අප සතුටු විය යුතුය.. ක්ලයිස්තිනීස් වැනි ද්‍රෝහියන්ටද තමන් හෙලනිකයන් යැයි කියාගන්නට පුළුවන් නම්, හෙලනිකයන්ගේත් හෙලනිකයන් වන අපට ඊට වඩා ප්‍රෞඪ ලේ උරුමයක් වෙනුවෙන් සටන් කළ හැකිය.. අපේ නහර තුළ දුවන්නේ වතුරෙන්, වයින්වලින් සහ වහලියන්ගේ කඳුළෙන් ඇල්මැරුණු ලේ නොව සංග්‍රාමයේ කාහල නාදයෙන් උදම්ව නටන ග්‍රීක ලේ බව හෙලනිකාව වටහාගන්නා මොහොත ඈතක නොවේ! 

සියවස් ගණනක් තිස්සේ අපි හෙලනිකාව පාලනය කෙළෙමු.. අපේ පිතෘභූමියට අපේ ඇති ආදරය විසින් පොළඹවනු ලදුව, අපි සාමයෙන් සහ සෞභාග්‍යයෙන් අපේ දේශය පාලනය කෙළෙමු.. මනුෂ්‍යත්වයේ සිර කුටියෙන් ඔබ්බෙහි වන දෙව්ලොව මහිමය කරා අප කැඳවා යන්නාක් මෙන් වූ ඈත මීදුමින් වැසීගත් කඳුවැටි, මිහිකතගේ රහස් අපට කොඳුනා කියන්නාක් මෙන් අපේ වෙරළ සිපගන්නා සාගරය, සෑම වසත්කලකම සිය සුගන්ධයෙන් වා තලය පුරවාලන ආශ්වාදනීය ලවෙන්ඩර් පුෂ්පයෝ.. මේ සියල්ල අපේ ජීව රුධිරයේ උරුමයන් ය. හෙලනිසය වෙනුවෙන් එක ලේ බිඳක් හෙළා නැති, හුදෙක් අපේ නියෝග මත අපේ පොළොව කෙටු උන්ට අපේ උරුමය සින්නක්කර දිය හැකි ද? ග්‍රීසියේ පා තබා ග්‍රීසියේ සෙවණ ලැබූ පමණින් යමෙක් ග්‍රීකයෙක් වන්නේ නම් ව්‍යාඝ්‍ර ලෙනකට රිංගු නපුංසකයකුද පසුදා සිට ව්‍යාඝ්‍රයකු විය යුතු ය.. අප සියල්ලන්ගේම ආදිතමයා වන සොබාදහම් මාතාව, එකම පොළෝගැබෙහි අමිල මාණික්‍යද, වැදගැම්මකට නැති තිරුවානා ද සාදන්නීය.. එහෙත් අවසානයේ සියලු ගල් බොරළු පෙරී යත්දී දිදුලන මිණිකැට පමණක් එහි ඉතිරි වෙයි.. තිරුවානා සහ මිණිකැට එකම පොළෝගැබේ උපන් පමණින් ඒවා එක සමාන වේ යැයි පවසන මෝඩයෙක් වේ ද? 

zpage160අවසානයේ ඔවුහු අවි ගෙන ඇත්තා හ.. අපේ පොළොවේ අපේ කරුණාව මත පදිංචි ව, අපෙන් කා බී, අපේ පොළොව කොටා, අපෙන් වේතනය ලබා, අපේ රැකවරණය යටතේ සිටි වහල් දාසයෝ අද අපට එරෙහිව අවිගෙන ඇත්තා හ.. උන්ගේ අත්වල රැඳි පොලු මුගුරු තැනුණේ අපේ කැලෑවන්ගෙන් කපන ලද දැවයන්ගෙන් බව, උන්ගේ අත්වල ඇති කඩු කිණිසි සැදුණේ අපේ පොළොවෙන් හාරාගන්නා ලද ලෝපසින් බව උන් දන්නවා දැයි මම කල්පනා කරන්නෙමි.. නිදහස! ඊනියා නිදහස! එකාට එකා බැඳීමක් නැති, එකාට එකා පාගා දමමින් නොනවතින දිවුමක යෙදෙනු පිණිස නිදහස! අපේ මුතුන් මිත්තන්ගේ ලෙයින් පෙඟුණු අපේ පොළොව අපෙන් උදුරාගැනීම සාධාරණයැයි කියන්නට නිදහස! වහලාත් ග්‍රීකයාත් එක සමසුනේ හිඳවන්නට නිදහස! ආහ්, ඇතීනාවෙනි, පෙම්බර, නැණවත් ඇතීනාවෙනි බලන් මේ අවනඩුව! 

ඇතන්සය ගිනිගෙන ඇත්තේ ය.. එසේ ය, එහි උස් වූ දැවමුවා ප්‍රාකාර නරකාවාටයෙන් මුදන ලද ගිනි මකරුන් සෙයින් සිය දිවවල් දිගු කරමින් අපට විළිස්සමින් සිටින්නේ ය.. එහි භිත්තීන් ඇතුළෙහි යුගාන්තයෙහි ටටාරසයෙන් මුදන ලද ටයිටනුවන් වෙස්ගත් කාලකන්නි වහල්ලු නිර්භයව සැරිසරති.. රාත්‍රියේ අන්ධකාර සළුපට විසින් උදාසීන, බියගුළු නිරිසතුන් වීරයන් බවට පත්කරවනු ලැබ ඇත.. වැරදීමකින් හෝ ට්‍රෝයි ගේට්ටුව අබියස සිටියානම් අතදරුවන් සෙයින් අත්ගගා හඬන බියසුලු නිවටයන් අද වීරයන් වී ඇත..

සංග්‍රාමයේ කාහල නාදය තව මොහොතකින් මා අමතනු ඇත.. මට තෝරාගැනීමට ඇත්තේ වීරයකු සේ මියයාමත්, වීරයකු සේ ආපසු ඒමත් පමණි.. අසල්වැසි ස්පාටාවේ මවුවරුන් සිය දරුවන්ට කියන්නා සේ “එක්කෝ පළිහ සමගින්, නැත්නම් ඒ මතින්” පැමිණීම හැර වෙනත් විකල්පයක් නැත.. අප අද පරාජය වුවහොත් එය අප දන්නා හෙලනිසයේ අවසානය වනු ඇත.. මන්දිර, සඳළුතල ගිනිබත් කෙරෙනු ඇත.. නුඹෙත් මගෙත් උරුමය වන අපේ ඉඩකඩම් අපෙන් බලයෙන් පැහැරගෙන වහලුන්ටත් උන්ට උඩගෙඩි දෙන ග්‍රීකයන් අතරත් බෙදාදෙනු ඇත.. අප සතු මහාර්ඝ වස්තුන් බෙදා ගනු පිණිස අපේ වහලුන් පොර කනු ඇත.. කුලස්ත්‍රීන් දූෂණයට සහ වහල්කමට ගෙනයනු ඇත.. වහලා ද, පුරවැසියා ද එක අසුනේ හිඳගනු ඇත..

The Acropolis, Athensඉදින් පුතණුවනි, මා මෙන්ම ඔබත් මා තරම්ම මේ දේශයට ආදරය කරතැයි මම සිතමි.. මේ කාලකන්නි රාත්‍රියේ නුඹ මෙහි නොසිටීම ගැන හර්මීස්ට ස්තුති වේවා! නැත්නම් මා තරම් ම දිළියෙන කෝපයෙන් සහ ජවයෙන් යුතුව නුඹ ද සතුරාගේ බොටුව කරා කඩාපනිණු ඇති බව මම හොඳින්ම දනිමි.. මොහොතකටවත් මා ගැන සිත් තැවුලෙන් නොසිතන්න.. අද මේ සතළිස් වියේදී පවා මට නුඹේ මිතුරන් දසදෙනෙකු සමග පොරබැදිය හැකිය.. එහෙයින් අප දෙදෙනාම වෙනුවෙන් මම සටන් කරන්නෙමි.. මේ ලිපිය යම් හෙයකින් නුඹ කියවන්නේ නම් ඒ අප පරාජය වූ නිසා ම පමණි.. එසේනම් නුඹ මේ අකුරු කියවන විට ග්‍රීසිය වැටී තිබෙනු ඇත… පුරාතන මුතුන් මිත්තන්ගේ ලෙයින් සුපසන් හෙලනිකයන් නොව වහලාත් ග්‍රීකයාත් එකට සිටගන්නා ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදයකින්” ග්‍රීසිය කෙළෙසී තිබෙනු ඇත.. එසේනම් මේ ලිපිය නුඹ වෙනුවෙන් යෙදෙන මගේ ආඥාව සහ අන්තිම කැමැත්ත වන්නේ ය… යම් හෙයකින් ඒ අවාසනාව අප උර මත පැටවෙන්නේ නම් ඊට එරෙහිව සටන්කොට ග්‍රීසිය ගළවාගැනීමේ වගකීම නුඹ මත පැටවෙනු ඇත.. එය විශාල බරකි.. ඒ බර නුඹට නොවැටෙනු පිණිස ය, අද මා කඩුව අතට ගන්නේ.. දේවාශීර්වාදයෙන් මේ ලිපිය ඉරාදමා මට සටනේ ජයග්‍රාහී සුවඳ ගැන ලියන්නට ඇත්නම්! එහෙත් තව හෝරා කීපයකින් සියල්ල විසඳෙනු ඇත..

වීරත්වය! පිතෘභූමිය! ජය!  “

ජැක්, ලැප් සහ වැල

ජැක්, ලැප් සහ වැල

‘ජැක්’ යනු කොස්වලට නමකි.. ඉදුණු කොස්වලට වැල කියා ද කියති.. එහෙත් පොදු අර්ථයෙන් ‘වැල’ යනු තමාගේ අනන්‍යතාවක් නොමැතිව වෙනෙකෙකුට හේත්තු වී හැදෙන ශාකයකි.. අනෙක් පැත්තෙන් ග්‍රාම්‍ය භාෂාවෙන් කාට හෝ හේත්තු වීමටද ‘ජැක්’ කියා කියති.. ඒ ග්‍රාම්‍ය භාෂාව තුළම ‘වැල’ යන්නට ඇත්තේ වෙනම අරුතකි.. එනම් ලිංගික ක්‍රියාකාරකම් ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ ය..

greed___jack_and_the_beanstalk_by_goddessvirageවැල සහ ජැක් යන දෙකෙන්ම නිරූපණය වන්නේ ලාංකේය (සහ අඩු වැඩි වශයෙන් දකුණු ආසියාතික කලාපීය) සමාජයේ අසංතෘප්තියේ සහ කුහකත්වයේ හරස්කඩකැයි මම කල්පනා කරමි.. මේ දෙකම, අසංතෘප්ත මිනිසුන්ගේ සිත් තුළ සිරකරන ලද ලිංගික ආශාවන් පුපුරා එළියට පනින අවස්ථාවන් දෙකකි.. සැබෑ ලෝකයේ විඳින්නට තිබුණානම් ‘හොඳයි, සැපයි’ කියා සිතන ශාරීරික ආස්වාදය, සැබෑ ලෝකයේදී අත්පත් කරගැනීමේ අශක්‍යතාව විසින් මානවයා විකල්ප දෙකකට තල්ලු කරනු ලබයි.. තමන් ආසා කරන, එහෙත් ලබාගැනීමට බැරි දෙය තමන් ඉදිරියේ පෙනී පෙනී (පෙන්න පෙන්නා?) තියෙනවිට පාලනයෙන් තොර මිනිසුන්ට ඉතිරි වන්නේ විකල්ප දෙකකි.. එක්කෝ හොරෙන් ගත යුතුය.. නැත්නම් බලෙන් ගත යුතුය.. බලෙන් ගන්නා ක්‍රමවේදය ‘දූෂණය’ නැතහොත් ‘ලිංගික හිංසනය’ යනුවෙන් හඳුන්වනු ලැබේ.. එහෙත් හොරෙන් ගන්නා ක්‍රමවේදයට නමක් නැත.. ඒ නමක් නැතිවීමට ද හේතුවක් ඇත.. ඒ හේතුව සොයාගැනීම ද එතරම් අපහසු නැත..
කතාව තේරුම්ගැනීමේ පහසුව තකා අපි ‘වැල සහ ජැක්’ පොඩ්ඩක් දෙපැත්ත මාරුකර ‘ජැක් සහ වැල’, එසේත් නැත්නම් වඩා නිවැරදි ලෙස ‘ජැක් සහ බෝංචි වැල’ සිහිපත් කරගනිමු.. මේ කතාව අප කවුරුත් කුඩාකල අසා ඇති ඉංග්‍රීසි සුරංගනා කතාවකි.. (අසා නැත්නම් සරල ගූගල් සෙවුමකින් එය සොයාගත හැකිය..) ජැක් සහ බෝංචි වැල කතාවේ ද වීරයා වන ජැක්, බෝංචි වැල දිගේ යෝධයාගේ නිවහනට ගොස් ඔහු සතු වස්තුව සොරකම් කරගෙන විත් යෝධයා ද මරාදමා ජයග්‍රහණය කරන මිනීමරු සොරෙකි.. (අවම වශයෙන් 1800 ගණන්වලදී බෙන්ජමින් ටාබර්ට් විසින් සුදුහුණු ගාන්නට පෙර නම් ජැක් යනු මිනීමරු සොරෙකි..) මෙහිදී නිරූපණය වන්නේ ද එකම කතාව ය.. එනම්, තමාට ගත ලබාගත නොහැකි දේ හොරෙන් සහ බලෙන් ගැනීම සාධාරණීකරණය ය..

6a00d8341c562c53ef013485a8b9a8970c-800wiජැක් සහ බෝංචි වැලේ කතාව පෙළ කීපයකින්ම සංකේතාර්ථවත් ය.. එක අතකින් කතාවේ එන යෝධයාගේ නිවස්නය ඇත්තේ බෝංචි වැලක් මුදුනේ ය.. ජැක් ඉන්නා ලෝකය වනාහි ඔබත් මමත් අප සියලු දෙනා ජීවත් වන කාලකන්නි දුක්ඛිත ලෝකය වෙයි.. යෝධයා ඉන්නා ලෝකය යනු අප සියල්ලන්ටම, එකිනෙකාගේ සිහින විසින් හැඩගස්වන ලද, ලඟාකරගත නොහැකි ඉලක්කයන්ගේ ලෝකය ය.. මේ දෙක එකිනෙක අතර සම්බන්ධයක් නැත.. කතාවේදී නම් ඒ දෙක ගැටගසනු ලබන්නේ බෝංචි වැල විසිනි.. දුප්පත් පවුලක ඉපිද, ආර්ථික ශක්‍යතාව බිංදුවට බැස තිබු ජැක්ගේ ලෝකයට සාපේක්ෂව යෝධයාගේ ලෝකය සිහින මාලිගාවකි… හරියට බලතොත් අප ද උදේ හවා ජීවත් වන්නේ අර කතාවේ ජැක් මෙන්ම මාධ්‍ය නමැති බෝංචි වැල් වල එල්ලීගෙන, අනුන්ගේ යෝධලෝක දෙස ආසාවෙන් සහ ඉරිසියාවෙන් බලාගත් ගමන් ය.. අපටද ජැක්ට මෙන්ම අර යෝධ ලෝකයේ යෝධ සැප සම්පත් විඳගැනීමේ බලවත් ආශාවක් තිබේ.. එහෙත් ඒ සඳහා ශක්‍යතාවක් අපට නැත.. (අතුරු කතාවක්: ඔරිජිනල් කතාවෙන් අපේ කතාව වෙනස්වන එක ක්‍රමයක් තිබේ.. ජැක්ගේ කතාවේ බෝංචිවැල ජැක් විසින් සල්ලි දී ගන්නා එකකි.. එහෙත් අපේ කතාවේ බෝංචි වැල, අපව නග්ගවා අපට යෝධ ලෝක පෙන්වනු පිණිස අනුන්ට වෙන්දේසි කරන කුලී බෝංචි වැලකි.. )

white_demon_by_0mup-d5v4wr9අනෙක් අතට සැලකුවහොත් යෝධයා හෙවත් ඩන්ඩර්බෝර් යනු ජැක්ට සාපේක්ෂව “ලොකු, විශාල, බලවත්” අයෙකි.. අපේ කතාවේ සමාජය සහ සදාචාරය සමග ජැක්ගේ කතාවේ යෝධයා හරියටම තබා ගැළපිය හැකි ය.. කතාවේ එන ‘දුප්පත් ජැක්’ යනු අපේ ම ආසක්ත විඥාණය වෙයි.. කතාවේ යෝධයා යනු අපට ළඟා කරගන්නට නොහැකි සැප සම්පත් රිසි සේ විඳින්නා සේ අපට පෙනෙන ‘මහා සමාජය’ වෙයි.. බස් එකක ‘ජැක්’ ගහන නූතන ජැක්ලා, එය බාහිර සමාජයෙන් වසංව කිරීම සහ ඔරිජිනල් කතාවේ ජැක්, යෝධයාගේ භාර්යාව සමග හොරෙන් ආලිංගනය කිරීම අතර වෙනසක් මට නම් නැත.. එසේම තමාට ලබාගැනීමට නොහැකි ආලිංගන සුවය ලබාගනු වස් අනුන්ගේ ජීවිත බලෙන් ගන්නා නූතන ජැක්ලා සහ ඔරිජිනල් කතාවේ යෝධයාගේ සම්පත බලෙන් ගන්නා ජැක් අතරද මට වෙනසක් නැත.. (අවශේෂ කාරණා වශයෙන් යෝධයා මරාදමනු වෙනුවට යෝධයා සල්ලි ගණන් කරන විදිය දෙස බලා ස්වයං වින්දනය කිරීම සාපේක්ෂව අවදානම අඩු ය.. )
ලැප් එකේ වැල තිබීම සහ දූෂණයට සැක කිරීම අතර සම්බන්ධය දැන් අපට එක පෙළට තබා ගැළපිය හැකිය.. ලංකාවේ සුචරිත යෝධයින්ට අනුව ලැප් එකේ වැල තියෙන්නේ අනුන්ගේ ආතල් හොරෙන් බලන නිසා ය.. හොරෙන් බලන එක වැරදි ද නැද්ද යන්න නොව ඔවුන්ට අදාළ වනුයේ තමන්ගේ දුර්වලකමම අනෙකාට තිබෙන බව සොයාගැනීම (හෙවත් තමන් නගින බෝංචි වැලේම නගින්නට හදන තරගකරුවකු සිටින බව වටහාගැනීම) පිලිබඳ ඊර්ෂ්‍යාව සහ තමාගේ දුර්වලකම (තමාගේ බෝංචි වැල) නොව අනෙකාගේ දුර්වලකම (අනෙකාගේ බෝංචිවැල) සමාජයට (යෝධයාට) හසුවීම පිළිබඳව වූ කුහක සතුටක් ලෙස අරුත් ගැන්වීම සාධාරණ යයි මම සිතමි.. එලෙසින්ම, බස් එකක ‘ජැක්’ ගසා මාට්ටු වන ‘ජැක්සන්’ ලාට පහර දෙන්නට ඉදිරිපත් වන බොහොමයක් ‘ජැක්’ලා ද, අවස්ථාවක් ලැබුණොත් හැසිරෙන්නේ අර ජැක්සන්ට නොදෙවෙනි ආකාරයටම ය.. අර කී මාට්ටු වූ ජැක්සන්ට පහර දෙන්නට ඉදිරිපත් වන අයගෙන් සැලකිය යුතු පිරිසකට ඇත්තේ තමාට නැගගන්නට නොහැකි වූ බෝංචි වැලක අනෙකා බඩගා මාට්ටු වීමේ සංතුෂ්ටිය කීවද එහි වරදක් නැත..

කුහකකම වරදක් ලෙස හංවඩු නොගසන්නට හේතුවක් මම නොදකිමි.. එහෙත් ඒ සමගම එකී කුහකත්වයට පාදක වන හේතුව කුමක්දැයි නොසොයා සිටීමේ කුහකකමට මම එරෙහි වෙමි.. කුහකත්වයට පාදක වන හේතුව අන් කිසිවක් නොව, “බලපං හූ හූ.. උඹලා ඉන්නෙ ඔහොම.. මෙන්න බලපං ඒකට.. මෙන්න මුන් කන කෑම.. මෙන්න මුන් බොන බීම.. මෙන්න මුන් ගන්න ගෑණු.. මෙන්න මුන් ඉන්න ගෙවල්.. මෙන්න මුන් යන වාහන.. මෙන්න මුන් දන්න දැනුම.. මෙන්න මුන්ට තියෙන පිළිගැනීම” ආදී වශයෙන් අපව උසිගන්වනු ලබන බල තණ්හාවේ සහ අසංතෘප්තියේ වෙළෙඳාම හෙවත් “බෝංචි වැල්” වෙළෙඳාම වෙයි.. අප විසින් සියලු බෝංචි වැල් කපා ඉවත් කරන තුරු යෝධයන් මැවීම සහ යෝධයන් මැරීම නතර වන්නේ නැත..

සනි අක්කා එල්ලීම – ඇරිබතෝවේ සිට ලොං ඩැහැගන්වන වාර්ථාකරණය

හවුචාව නම් මනංකල්පිත ග්‍රහ ලෝකයේ ජංගියන් සාගරයේ හුකෑෂ් සමුද්‍ර සන්ධියට දකුණින් පිහිටි ඇරිබතෝව දූපතේ කාන්තා හිංසනය, දූෂණය, අසරණ දරුවන් කෙළෙසීම, කාමාපරාද, ඝාතන දිනෙන් දිනම ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය….

මේ ග්‍රහලෝකයේ කොම්පර්ජාලය කියා එකක් ඇත….ඒක කොම්පියුටර් ජාල රාශියක් එකතුවීමෙන් සෑදෙන අපූරු මෙව්වා එකකි…සමාජ විජ්ජාව සහ මනෝ විජ්ජාව පැත්තෙන් බැලුවොත් ඒක වර්චුවල් රියැලිටි එකකි..කොටින්ම කිව්වොත් රියැලිටි ෂෝ එකකි…..අනිත් රටවල ජනතාව සමාජයේ ප්‍රගමනයට ඒක පාවිච්චි කරත්, මේ රටේ ජනතාව ඒක පාවිච්චි කරන්නේ වැල අදින්න සහ වැල දමන්නටය….ඒක ඒ අයගේ ජාතික උරුමයන්ගෙන් එකක් නිසා, කොම්පර්ජාලය නම් වර්චුවල් අවකාශයේත් කරන්නේ ඒකමය….ඒකට ඉතින් මොනව කියන්නද නේද?….

ඔන්න දවසක් මේ රටේ හන්දියේ කඩයක් කළ මුදලාලි කෙනෙක්ව කවුරු හරි විසින් ඝාතනය කරන ලදී…පහුවදා උදේ බලනකොට මුදලාලි මිනිය කඩේ පිටිපස්සෙ හරස් අතට වැටිලා තිබුණේය….

මේ එතැන් සිට සිදුවූ සිද්ධි දාමයයි….

ඇරිබතෝ වාසීන් පොලීසිය අවට උද්ඝෝෂණයේ ( සජීවී දර්ශණ ) :

” රටට සඳක් වගේ හිටපු මුදලාලි මාත්තයා මරා ගත්තා…මුන්ට එණ ගානවා…!…මේ පාහර වැඩේ කරපු එවුන් අල්ලපියෝ…!..අල්ලලා එල්ලපියෝ…!…අනේ කැසිල්ලේ රජතුමනි…!…උඹට මුන් එල්ලන්න බැරි නම් දීපිය මං එල්ලන්නම්…!…බාල්කෙකුයි, කඹෙයි තිබ්බම ඇති යකෝ..!…ඔය ලොකු ලොකු පෝරක හද හද ඉන්න වෙලාවක් නෑ…!…අල්ලපියව්…එල්ලපියව්…!”

කැමරාවේ පසු සටහන් වූ උද්ඝෝෂණයට පැමිණි දෙදෙනෙකු අතර කථාබහක්…

“කවුද බං මේ මරලා තියෙන්නෙ?… ”

“දන් නෑ බන්”

“දන් නැත්තන් තෝ පපුවට ගහගෙන ෂර්ට් එකත් ඉරා ගත්තෙ?”

” වීඩියෝ කරනව හු*තෝ! අර බලපන්”

“අම්මට? ඒනන් අපිත් අද “ලයින්ග් ඇට් නයින්” එකේ ඉඳියි පණපිටින් වගේ යකෝ”

ඔය අස්සේ මුදලාලි ඝාතනයේ සී.සී.ටී.වී කැමරා දර්ශණ ලීක් වේ….මුලින්ම දාන්නේ “අම්මපා TV” එකේ නිව්ස් සයිට් එකේ සහ පේස්බුහ් පේජ් එකේය….ඊට නැනෝ-තප්පර දෙකකට පසුව ඒකම “අම්මපා FM” එකේ ගොසිප් සයිට් එකේ සහ එයට අදාළ පේස්බුහ් පේජ් එකේ වැටෙයි….ඊටත් නැනෝ-තප්පර හතරකට පසුව මේ නිව්ස් පෝස්ටර් එක අමුඩෙ පිටින්ම උස්සා එක එක කොළු බච්චලා කරන පේස්බුහ් පේජ්, නිව්ස් සයිට්, ගොසිප් සයිට් වල වැටෙයි….

නිව්ස් එක මුලින් “අම්මපා” මාජ්ජ ජාලයේ ඕක මුලින්ම ගිය එක ගැන “ඔලුව” මාජ්ජ ජාලයේ උන්ට මළය….

“මොන ලබුවක්ද යකෝ? තොපිට මෙච්චර පඩි ගෙවන්නෙ, ආතල් දෙන්නෙ මේකටද? තොපේ පඩියෙන් බාගයක් ගෙවන්නේ නැතුව උන් කොහොම හරි මුලින්ම සී.සී.ටී.වී විෂුවල්ස් ගෙනත් දැම්මා….බලපන් ඒකෙ “රීච්” එක පාලොස් ලක්ෂෙත් පැනලා….ලයික් හතළිස් පන් දාහයි…ෂෙයා විසි එක් දාස් දෙසීයයි… මෙච්චර හරියක් වෙනකල් තොපි ඉස්ටේප්ලර් කටු කාපු රිලව් වගේ ඇණ තියාගෙන හිටියා….මං තොපිට තව පැය බාගයක් දෙනව…ඔය උන් දාපු සී.සී.ටී.වී ඈන්ගල් එකට අනිත් පැත්තේ ඈන්ගල් එකේ කැමරා විෂුවල්ස් මොන ලෝකෙන් හරි හොයාගෙන ගෙනල්ලා අපේ  “කක්කන් FM” එකේ පේස්බුහ් පේජ් එකේ නොදැම්මොත් මං තොපිව ප්ලාස්ටික් බෝතල් උඩ උළ තියනවා…දුවපියව්!”

කෙසේ හෝ මුදලාලිගේ කඩේ අනිත් පැත්තේ ඈන්ගල් එක කවර් කරපු කැමරාවේ දර්ශණ ලබා ගැනීමට “ඔලුව” මාජ්ජ වේදීන් සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඇරිබතෝ පොලීසියේ අයියලාට පගුං පනස් දාහක් සමග විෂ්කි බෝතල් හතළිහක් පගාව දීමට සිදුවිය… ( පගුං යනු ඇරිබතෝවේ මුදල් ඒකකයයි…)

ඇරිබතෝ කොම්පර්ජාල වාසීන් වනාහි සර්ව විශේෂඥයන්ය….සර්පිල මන්දාකිණියක සිට අත්තම්මාගේ රෙද්ද දක්වා ඇති සියල්ල සියළුම ආකාරයෙන් සුපිරියට ඇනලයිස් කිරීමේ හැකියාව ඔවුන් උපතින්ම ගෙන පැමිණ ඇත…ආයෙ ඒවාට ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් වල අධ්‍යාපනය හැදෑරූ ප්‍රවීණයන් නැතුවාට කමක් නැත….විශ්වයේ නොවිසඳුණු අබිරහස් ඕන එකක් ඇරිබතෝ කොම්පර්ජාල වාසීන්ට බාර දුන්නා නම් තුන් වරුවෙන් සහනය ලැබේ….”නොදන්නා දේවල්” කියා දෙයක් ඔවුන් අසාවත් නැත…

පහත දැක්වෙන්නේ ඒ සී.සී.ටීවි කැමරා දර්ශණ පේස්බුහ් පිටුවල ප්‍රචාරය වූ පසුව ඒවා ෂෙයාර් කරමින් දමා තිබුණු විශ්ලේෂණයකි….

“දැන් බලන්න මේ වීඩියෝ එක හොඳ කල්පනාවෙන්…පුළුවන් එකෙක් මේක ඩවුන්ලෝඩ් කරලා, VLC එකේ ප්ලේ කරලා ඉස්ලෝමෝෂන් බලපන්…එතකොට තේරෙයි මංකියන දේ..ඕකෙ 23 වැනි තප්පරේට ඇදපල්ලා….මුදලාලි මැරිලා වැටිලා ඉන්න තැන තිරස් රේඛාවක් ඇන්දොත්, මුදලාලිගේ අතේ දබරැඟිල්ල පිහිටලා තියෙන්නෙ ඒ රේඛාවට අංශ 43 ක් ආනතව… එතකොට සයින් 43 කියන්නෙ -0.8314…ඒ අනුව මට නම් හිතෙන්නේ ඒ දබරැඟිල්ල යොමුවෙලා තියෙන දිහාවෙ හමුවන පළමුවැනි ගෙදර ඉන්න අයගෙ පුංචි අම්මගෙ පුතා තමයි මේ මිනී මැරුම කරන්න ඇත්තෙ”

විශ්ලේෂණයට කොම්පර්ජාලයෙන් සහ ඉන් පිටත සැබෑ ලෝකයෙන් ලැබෙන ප්‍රතිචාර….

( අදාළ ගම ආශ්‍රිතව ජීවත් වුනු උදවිය )

“අඩෝ සිරාවට මචන්! ඔය කියන ගෙදර ඉන්න ගෑණු කෙනාගෙ නංගිගෙ පුතා තමයි ඕක කරන්න ඇත්තෙ…අර හජුශානයා! ඌ තමයි…ඌ මීට අවුරුදු දෙකකට කළින් සාටර්කුළම වැව් බන්ට් එක උඩ සුස්තියක් අදිනවා අපේ මැරිච්ච කිරි අප්පු මුත්තා දැකලා තීනවා….ෂුවර් එකට ඌ තමයි”…

“ඇත්ත..ඇත්ත…හජුශානයට තියෙන්නෙ ඒ වගේ මූණක් මචන්..!.උගේ මූණ දැක්කාම ඌ කවද හරි මිනියක් මරයි කියල හිතෙනවා”…

( යාබද නගරයේ කාර්යාල වල )

“නෑ සොහොන්ශිකා ! මට ඒ ගමේ එක්කෙනෙක්මයි කිව්වෙ….හජුශාන් කියල එකෙක් ඒක කරල තියෙන්නෙ…ඌ වවුල් වෙසක් අරගෙන අහසින් ඇවිත් මුදලාලිගෙ බෙල්ල විදලා ලේ බීලලු…එහෙමයි මරලා තියෙන්නෙ”

“වෙන්න ඇති සුසානි ! මාත් අද උදේ කෝච්චියෙ එද්දි කවුදෝ කියනව ඇහුණා….ඌට ගංජා බොන්න මුදලාලිගෙන් සල්ලි ඉල්ලුවලු…නොදුන්නයි කියල මළෙන් ලු ඉඳල තියෙන්නෙ”

( අගනුවර කාර්යාල වල )

“අඩෝ ණයමල්! උඹ දන්නවද? අර මුදලාලි මරපු සීන් එකේ මිනීමරුවා ඒ ගෙදරට අංශක 43 ක් උතුරින්, මීටර් 23.5 ක් ඈතින් තියෙන ගෙදරක ඉන්න ගෑණු මනුස්සයගේ නංගිගෙ පුතාලු… ඔව් හු*තෝ…!…ඌ තමයි ගේම දීලා තියෙන්නෙ…!…ඌ කුඩු බොන්න පුරුදු වෙච්ච පොරක්….ඌට මාසෙකට පගුං අසූ දාහක කුඩු ඕනලු… ඉතින් මුදලාලිගෙන් සල්ලි ඉල්ලලා තියෙනවා….මුදලාලි 2013 ජනවාරි 23 වෙනිදා දවල් 12:34 ට කඩේ ඉස්සරහ උතුරු දිශාව බලාගෙන කියල තියෙනවා සල්ලි දෙන්න බෑ කියලා…ඊට පස්සෙ මූ සැප්තැම්බර් 27 වෙනිදා රෑ 11:22 ට අඩි 120 ක් උඩ ඉඳලා පහළට පැනලා වවුල් වෙසකින් පියාඹලා ඇවිත් තමයි මුදලාලිට ගේම දීලා තියෙන්නෙ….”

“අම්මට ! මාර සීන්නෙ ප* දැන් වෙන්නෙ…?…කවුද උඹට කිව්වෙ?”

“උබේ අතේ පෝන් එක තියෙනව නේද? ඔහොම්ම පේස්බුහ් ලොග් වෙලා අර “ළපන්වාහිණී ” එකේ පේජ් එකට පලයන්…ඒකෙ තියෙනවා සම්පූර්න ඉස්ටෝරියම….”

“අඩෝ ඔව්මයි ! මූද එතකොට පොර ? අඩෝ මේ හු**ට තියෙන්නෙ මිනීමරු ඩෑල් එකක් බන්…මුන් වගේ කුපාඩින්ව එල්ලන්න ඕන”

“එල්ලලා මදි බන්…! ඕකා එල්ලලා, ලණුව කපලා, බිම වැටුණාම ආයෙ උස්සලා එල්ලන්න ඕන”

දිනකට පසුව ඇරිබතෝ ජනතාව ( සජීවි දර්ශණ ) :

“මහත්තයෝ ! අපි මේ අති උතුං කැසිල්ලේ රජතුමාට කියන්නෙ ! මේවා බල බල ඉන්න එපා ! මේ පාදඩයන්ව එල්ලන්න ඔබ තුමාට බැරි නම් කඹ යාර දුසිමක් එක්ක පොල් පරාලයක් හොයල දෙන්න, අපි එල්ලන්නම් ! අපිට මේ දුක දරාගන්න බෑ…!.. තවත් මේවා වෙන්න දෙන්න එපා !”

කැසිල්ලේ රාජ සභාව :

( දුරකථන පණිවිඩයක් )

“මේ .. මේ කොහෙවත් යන හුයන්නක් නිසා මටත් සවුත්තුව ඕයි…!…කවුද දැන් ඔය කියන්නෙ….?…ගෙනෙන් ඕකා කුදලගෙන….!….දාපන් අර පෝරකේට ලණුව…!…ඔන්න ඕකව එල්ලලා දාමු…!..එතකොට සේරම හරිනෙ..?…..”

( ඔය අස්සේ අදාළ ගමෙන් තවත් ආරංචියකට තටු ලැබේ)

ඇරිබතෝ පොලිෂ් මාජ්ජ ප්‍රකාශක :

“අපට මේ වනවිට කරපු පරීක්ෂණ අනුව හෙළිවෙලා තියෙනවා මේ මුදලාලිගෙ හාමිනේ මුදලාලිගෙ නංගි බැඳපු මහත්තයගෙ අයියගෙ පුතාට ඉන්දියාවෙ හන්දියකදි හම්බ වෙච්ච සරෙයිරාමා කියන මනුස්සයා එක්ක තප්පර තුනක් හිනාවෙලා තියෙන බව….ඒ නිසා මේක අනියං පේම සම්බන්දයක්ද කියලා මේ ඇත්තන්ට සැක පොජ්ජක් මන්දො වෙලා තීනවා”

( එයින් පසුව )

” මං කිව්වද කොහෙන් හරි මේකට මුදලාලිගෙ ගෑණි සම්බන්ධ ඇති කියලා….?…. ඔය ගෑණු විශ්වාස කරන්න පුළුවන්ද යකෝ අද කාලේ? …. පට්ට වේ*යෝ….!….ෂුවර් එකට අර ඉන්දියන් කාරයගෙ පනාවට රැවටිලා ඌ එක්ක පැනල යන්න මුදලාලිට ගේම දෙන්න ඇති…මේක ඇතුළෙ වැඩක් කියලා පට්ට පැහැදිලියිනෙ බං….ගෙදර වටේට තව ගෙවල් ගොඩක් තියෙද්දි, ගෙදර දඩෝරි බල්ලො එකසිය තිහක් ඇති කරද්දි, ගේ වටේට අඩි පනස් තුනක් උස තාප්පයක් තියෙද්දි කොහොමද මේ කාටවත් නොදැනෙන්න මෙහෙම මර්ඩර් එකක් දෙන්නෙ?….අනිවා, ඔය බැල්ලි තමයි ඕක කරන්න ඇත්තෙ….මම ඕක එදා උඹලට කියද්දි උඹලා පිළිගත්තෙ නෑ….ගෑණු කියන්නෙ සල්ලි වලට ඕන කුපාඩි වැඩක් කරන මහ ජරා ජාතියක්…”

“රටක් වටින මුදලාලි මහතා මරාගත් මුදලාලි බිරිය එල්ලා මරනු !”

කැසිල්ලේ රාජ සභාව :

( දුරකථන පණිවිඩයක් )

“මේ .. මේ කොහෙවත් යන හුයන්නක් නිසා මටත් සවුත්තුව ඕයි…!…කවුද දැන් ඔය කියන්නෙ….?…ගෙනෙන් ඕකි කුදලගෙන….!….දාපන් අර පෝරකේට ලණුව…!…ඔන්න ඕකිව එල්ලලා දාමු…!..එතකොට සේරම හරිනෙ..?…..”

( දවසක් දෙකක් ගතවනවිට කොම්පර්ජාල වාසීන් ඇතුළු ඇරිබතෝ ජනයා නොඉවසිලිමත් වේ )

“කෝ අනේ ! එල්ලන්නෙ නැද්ද? අපි දැන් දවස් කීයක් බලන් හිටියද එල්ලන කල්…!….හරි කැතයිනෙ මෙහෙම ජනතාව රවට්ටන එක….!…එල්ලනව නම් මෙළහකට දහ පාරක් එල්ලන්න වෙලාව ….!.. උනුත් එකයි, මුනුත් එකයි….!…දෙගොල්ලම කරන්නෙ අපිව රවට්ටන එක….!…එල්ලන්නෙ නෑ මුන්…!….මොකද මුන් කරල තියෙන වැඩ වල හැටියට එල්ලන්න ගත්තොත් ඉස්සෙල්ලම තමුන් එල්ලෙන්නයි වෙන්නෙ….!…තව මාසයක් මුන්ට කල් දෙනවා…!…එල්ලුවෙ නැත්තන් බලාගමු…”

( එයට පසුව )

ඇරිබතෝ එල්ලනාගාර දෙපාර්තමේන්තුවේ මාජ්ජ ප්‍රකාශක :

“අපි මේ දවස් වල පෝරකේ ඒ.සී කරගෙන යනවා….ඔව්…!…කඹේ ප්ලැටිනම් වලින් හදන්න ඕන….!…නැත්තන් එල්ලන කෙනා ඊළඟ ආත්මෙත් මේ දූපතේමයි උපදින්නෙ….ඒක නිසා අපි කඹයක් ගොබිලාන්තයෙන් ආනයනය කරනවා….ඒ සඳහා ප්‍රතිපාදන සම්පාදනේ කරල තියෙන්නෙ දැනටම….බොරු නම් බලන්න අර එළියෙ තියෙන අලුත්ම BMW එක මගේ…..!…ඔව්…!…මේ පාර නම් දෙයියම්පා එල්ලනවා…!…කැසිල්ලේ රාජ සභාවෙන් නියෝගයක් ආපු ගමන් එල්ලීමට අපි සැදී පැහැදී සිටිනවා….!… මොකක්ද?….අලුගෝසුවද?…ආහ් අලුගෝසුවෙක් නම් නෑ, ඒක වෙනම කථාවක්…!… බඳවා ගත්තු හත්සිය විසිතුන් වෙනියත් ගිය මාසෙ පැනලා ගියා….ඔව්…!…ඒක අවුලක් නෑ….අරහෙන් ඕඩර්ස් ආපු ගමන් කොහොම හරි එල්ලනවා..!”

( මේ අතර, මීට පෙර අත් අඩංගුවට ගත් හජුශාන්ගේ කොම්පිටර් එකේ තිබී සුප්‍රකට වැල රැජිණි “සනි අක්කා” මහත්මිය රඟන වැළ 210 ක් අසුවේ )

එයට සතියකට පසුව නයිටවාහිණියේ “පොරමඩලාව” හරසරණියේදී

“දැන් බලන්න වසන්ත මහත්තයො වෙච්ච දේ ! මේ අහිංසක තරුණයන්ගෙ මල් වගේ හිත් දූෂණය කරන කාම චිත්‍රපටි නිසා තමයි මේ අපරාදෙත් වෙලා තියෙන්නෙ! … මේක දර්ම්ද්වීපය නේද?…. මේ අපේ තරුණ පරපුර කොයිබටද යන්නෙ?….”

පේස්බුහ් පිටුවල

“අපරාදෙ ඕයි අපි අර හජුශාන්ටයි, මුදලාලිගෙ වයිප්ටයි බැන්නෙ….පව් ඕයි උන් දෙන්නා ! කෝමද උන් දෙන්නව එල්ලල තිබ්බ නම් ?… අඩෝ බලපන් මේ හජුශාන් වගේ පොඩි එකෙක් කෝමද මේ වගේ අපරාදයක් කරන්නෙ….?…අනේ උගේ මූණ දැක්කම මට මතක් වෙන්නෙ මම දෙක වසරෙදි ගහපු පොටෝ එකක්”….

අවසානයේ සනි අක්කා මුදලාලි ඝාතනයට වරදකරු කරන කැසිල්ලේ රාජ සභාව සනි අක්කා ඇරිබතෝවට ගෙනවුත්, එහි අගනුවර “ඕල්ඩ් ෆේස්” පිටියේදී ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට තීන්දු කොරයි….

ඇරිබතෝවට යාබදව පිහිටි ජන්ගියාව විසින් සනි අක්කා ඇරිබතෝ බළධාරින්ට බාර දෙනු ලබයි….

( “පොරණ” මාජ්ජ ජාලය )

“සනි අක්කා එල්ලුම් ගස් යෑම සජීව විකාශය ඕල්ඩ් ෆේස් පිටියේ සිට…එයින් පසුව දිවඉනේ සුප්‍රකට ඉස්ටාර්ලා රැසක් “පරලෝ රාත්‍රී” මහා සංගීත ප්‍රසංගය  ”

“Watch “Sunny Hanging” Live at Old Face….DJ Absurd in concert”

( “ඔලුව” මාජ්ජ ජාලය  ) :

“මෙන්න ඔබට පගුං හැට ලක්ෂයක් දිනා ගත හැකි ප්‍රශ්ණය…..!….සනි අක්කා එල්ලූ පසුව මැරෙන්නෙ හරියටම කීවෙනි විනාඩියේද?.…නිවැරදිව පිළිතුර “විනාඩිය හිස්තැනක් Sunny ” යනුවෙන් 88119 ට එස්සෙමෙස් කරන්න …. සනි අක්කා එල්ලූ පසුව ජයග්‍රාහකයා එතනම තෝරනු ලැබේ….”

( “විහින් බයිට්” මාජ්ජ ජාලය )

“හායි මගේ යාලුවනේ ….ඔයාලා උක්කොමලම දන්නවා අපෙ අලුත් සෙග්මන්ට් එක….”සනී වාසනා” දිනුම් ඇදීම….ඔබ කළ යුත්තේ සනි අක්කාගේ අන්තිම වචන හරියටම ගෙස් කරලා 15889 ට ටෙක්ස්ට් කරන එක…නැත්තන් ඌ ගොල්ලාන්ට පුලුහන් අපේ පේස්බුහ් පේජෙ එකේ කමෙන්ට් කරන්න….ප්‍රයිසස් ගැන දන්නවනෙ…මම කලින් කීලා තිනවනෙ….?…උයාලට ලොකුම ලොකු “ටොනෝටා බකමූණාස්” හයිබ්‍රිඩ් කා එකක් දිනාගන්න මේක හොඳම චාන්ස් එක….ඕකේ…?….ඕල් රයිට්…දැන් අපි යමු ඊළඟ සෝන් එකට…”

( “ළපන්වාහිණී” මාජ්ජ ජාලය )

“දුකට පත් අසරණ ඔවුන්ට පිහිටක් වෙන්න මෙන්න ඔබට අවස්ථාවක්…”එල්ලුං සත්කාරය”…සනි අක්කා එල්ලන තැනට අප විසින් ගෙන්වන අසරණ පවුල් 25000 කට අවශ්‍ය වියළි ආහාර, පොත්පත් ආදිය පරිත්‍යාග ඔබට හැකි පමණින් ඔබේ ගමට එන අපේ “ළපන්වාහිණි” කණ්ඩායමට දෙන්න…අපි ඒවා එතනදි ඒ පවුල් වලට බෙදා දී ඒ පින් සනි අක්කාට අනුමෝදන් කරමු…ඒ පින් බලෙන් අපේ වාහිනිය අයිති අක්කාත් එර්දි වේවායි පතමු” ….

(“Lat FM” මාජ්ජ ජාලය )

“Do you want to be in a photo with Sunny at her last moment? ….call us now to register on three double seven three double seven ”

( මේ අතර අගනුවර ප්‍රධාන පෙළේ මාකටින් ආයතන වල සහ ව්‍යාපාරික ආයතන වල “Brain Storming Sessions” )

” මගේ අයිඩියා එක තමයි අපි එයාව බිකිණි එකක් අන්දලා යවමු….බිකිණි එක ස්පොන්සර් කරන්න “මිඩ්නයිට් හුකෑෂ්” කම්පණි එක දැනටම ඔෆර් කරලා තියෙනවා….

“බෑ බෑ….එයා සාරි එකක් අන්දල යවන්න දැනටම sign කරල තියෙන්නෙ….සාරි එක ස්පොන්සර් කරන්නෙ “සාරි කුන්දීර්”… අන්ඩවෙයාස් Sponsor කරන්නෙ “ගොඩෙල්”….

“ෂැක්…!… කාගේද ඒ අයිඩියා එක?….මම කියපු විදියට කරා නම් අපිට එයාගෙ ඇඟ පුරාම ස්පොන්සර්ෂිප් ස්ටිකර්ස් අලවලා companies දුසිමක විතර offers ගන්න තිබුණා…..දැන් ඉතින් ඉතිරිවෙන්නෙ පිටයි, බඩයි විතරනෙ….”

“එයාගෙ High heels දෙක?”

“සනීගේ ඉවෙන්ට් මැනේජර්ස්ලා අපිට කෝල් කලා….Heels දෙක යූ.ඇස් වලින්….එයා ඒවා නැතුව වෙන ඒවා දාන්නෙ නැතිලු….”

“ආ…ඕකේ…!…මේකප්?”

“මේකප් ස්පොන්සර් කරන්නෙ “ජලාහුටාස්” සලෝන් එක “….

(මේ අතර ඕල් ෆේස් පිටියේ ඉදිවෙන පෝරකය ළඟ තරුණ තරුණියන් “සෙල්ෆි” ගසා පේස්බුහ් අප්ලෝඩ් කරති….)

Kolla rockza : “Near da “ellum tree” broz ! Shit totally rokzzzzzz” ( replies : “ado sira kollaz…..elazzz” )

Pissu Angel : “She`s gonna swing 2moro … totally kool …! ”

( මේ අතර සනි අක්කාද තම පේස්බුහ් Official Fan page එකේ ස්ටේටස් දමයි  )

“2morro I`m gonna die ! Super Koool ! B sure 2 B there !  – Feeling Excited”

( replies : ” yeah you roxxx gal !… yo yo “)

( සනි අක්කා එල්ලුම් ගස් යන දවස උදා වේ ) 

පෝරකය ඉදිරියේ සියළු මාජ්ජ නියෝජනය කරමින් ළපටි නිවේදක නිවේදිකාවන් රැසකි….

සමහරු :

“හායි ! ගුඩ් මෝනින් ! අපි මේ ඇවිල්ලා ඉන්නෙ එක්ස්ම එක්සයිටින් ඉවෙන්ට් එකකට….ඔයාලට තව ටිකකින් බලාගන්න පුලුවන් සනි අක්කා එක්ස්පයර් වෙන හැටි”

තවත් සමහරු :

“ඔව් … මේ පෝරකයේ ඉතිහාසය අවුරුදු එක්දාස් හත්සිය පණහක් පමණ ඈතට යන එකක් කියලා වීපීඩියා එකේ සඳහන් වෙනවා….ඔයාලා නොදන්න කාරණයක් තියෙනවා….”

“ඒ මොකක්ද ගුජිත?”

“සනී තමයි ඇරිබතෝවෙ එල්ලුම් ගස් යන දෙසිය වෙනියා….”

“යේ….ක්ලැප් ක්ලැප්”…..

“ඒයි ඒයි… සනීව ගේනවා…සනීව ගේනවා….ටක් ගාලා දුවල ෆ්‍රන්ට් ලයින් එක අල්ලමු කවර් කරන්න”

“රතු හරකා” ශක්ති ජනක පානයේ වෙළඳ ලාංඡනය ගැසූ, සහ එයින් විශාල කෑන් එකක අනුරුවක් වහළේ පටවා ගත් මෝටර් රියක්, ආරක්ෂක රථ පෙළකට මැදිව එනු පෙනිණි…..කැමරා ෂටර “සට, සට” ගාන නාදයෙන්ද, ඒවායේ ෆ්ලෑෂර දෙන විදුලි ධාරා වලින්ද අවට පරිසරය පිරී යයි…..මෝටර් රථයෙන් බැස ගත් සනී මේකප් තට්ටු පනහක් තවරන ලද මුව පොබයා මුළු ඇරිබතෝවේම සියළු රෝග නිවාරණය කරන සිනාවක් පා ආචාර කරන්නීය….අනතුරුව ඇය “රතු හරකා” කෑනයක් කඩා එය පානය කරන්නීය….අදාළ ශක්ති ජනක පානයේ අළෙවි ප්‍රවර්ධන කළමනාකරු අසළින් සිනාමුසු මුහුණින් සිටී….ඒ අතර තුර සජීවී විකාශයට මදකට බාධා පමුණුවමින් කළින් දිනයේ පටිගත කරන ලද, සනි අක්කා සිටින “රතු හරකා” වෙළඳ දැන්වීම විකාශය වේ…

“Even to Die, you need a lot of energy….My Energy comes from “Rathu Harakaa”

ඉහළ පැලැන්තිය නියෝජනය කරන වාහිණියක නිවේදිකාවක් සනි අක්කා ඉදිරියට පැන ගනී…..

“So tell us Sunny ! How do you feel right now?”

“Well…I`m so excited to be here….I can even speak your language a little…..මම්ම ඇරිබත්..තෝවට ගොඩ්ඩාක්….ආදරයි….මම මෙහෙ මැරෙන ලැබිච්ච එක ගොඩක් ආසයි…Thank You All….you were wonderful…This island rock…”

අනතුරුව V අකුරක හැඩයට ඇඟිලි උරුක් කර ගත් සනි අක්කා සමග පෝරකය පසුබිමෙහි තබා ඡායාරූප ගැනීමට විවිධ නාළිකාවල පැවති කුසපත් ඇදීම් වලින් තේරුණු ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අවස්ථාව ලැබේ….

අවසානයේ සනි අක්කා පෝරකයේ පඩිපෙළ පාමුලට ගෙන එනු ලබන අතර, ඇයගේ දෑත් පිටුපසට බැඳීමට පෙර ඇය පෝරකය සමග සෙල්ෆියක් ගසා සිය අවසන් සෙල්ෆිය පේස්බුහ් අප්ලෝඩ් කිරීමට විනාඩි කිහිපයක් වැය කරයි….

“Me N Ma Gallows !… “

( එතැන් සිට සිදුවූ දේවල් සංවේදී හදවත් ඇති අයට දරා ගැනීමට අපහසු බැවින් වාර්ථාකරණය මෙතකින් හමාර කරමු )

පෝරකය ඕනද?

ඔන්න දැන් අපි යනවා ගල් යුගයට….

සතෙක්ගෙ හමක් පොරව ගත්තු, ගල් ගෙඩියක් උල් කරලා ඒකෙන් ප්‍රාථමික අවියක් හදා ගත්තු ආදි මානවයෙක් ( ඇඟ පුරා ලොම් පිරිච්ච, දිගැටි මුහුණ, ඉදිරියට නෙරා ගිය දත් සහිත ) බිම පහුරු ගාගෙන ගාගෙන යනවා…පොළවේ වසන යම් ජීවියෙක් අල්ල ගන්න දරන උත්සාහයක් කියමුකො….එතනට තවත් ඒ වගේම මුල් කාළයේ මානවයෙක් එනවා….අර බිම හාරමින් සිටි ආදි මානවයා හිස ඔසවලා, නළල රැලි ගන්වලා අලුතින් ආපු එකා දිහා බලනවා….මේ ඔවුන් අතර දෙබස:

1 : “ඌ…බජ බජ හුජාබු” ( “මේ ඒරියා එක මගේ යකෝ!” )

2 : “හවුවා….ගැජ ගැජ ගජුන්ගා” (  ” එව්වා හඳේ ඩෝ !” )

1: “උග් උග් උග් …. ගව්වා … හබ්බුජා…බජා” ( “බැහැපිය පරයා එළියට ! නැත්තන් තොගෙ *)

2: ” ආගා….ආගා…ගිජා ගිජා ගිජා ගිජ්ජුචා” ( ” කරපිය බලන්න පුළුවන් නම් තොට !” )

ඔන්න ආවේගය…පළවෙනි එකාගෙ අම්මා මතක් කරලාද කොහෙද?  ගත්තා අහුවෙච්ච ගල් පතුර කෙළලා ඇරියා …

“උජා…!”  (” ඉඳා!” ) ….

“ගවුකුචා!” ( “අම්මෝ!” )

දැන් එකෙක් ඩවුන්….ඌ ඉවරයි එතනම….

ඔන්න ගල් ගුහාවේම සෙට් එක සද්දෙට දුවගෙන එනවා…අර ගහපු අනිත් එකා එතන බලාගෙන ඉන්නවා….අනිත් එවුන් ටික රවුමට හැදිලා කහ කහ ඉන්නවා….උන් අතරින් එනවා උස මහත, ලොම් තද “ඇල්ෆා” ඉස්සරහට….ඌ බලනවා මිනී මරුවා දිහා…..

දැන් අර මැරිච්ච එකාගෙ ගෑණි එනවා…. ඇවිත් බිම වැටිලා ඉන්න මිනිහව අල්ලලා හොල්ලනවා….

“හාගා….හාගා….හාගේ හාගා….හගෝ හාගා…!”  ( “අනේ කථා කරන්න වස්තුවේ…නැගිටින්න රත්තරං”)

අරූ මැරිලා…ඉතින් ගෑණු කෙනා ඔලුව උස්සලා බලලා කෑ ගහනවා….

“අරා….කා…කා…කා…ගවුකුචා….අරා…අරා….” ( “මූව මරපියව් ! මගේ අහිංසකයා මරා ගත්තා…!…හෙණ ගානවා තොට…!”)

අර “ඇල්ෆා” එකා මිනී මරුවා දිහාට ඇඟිල්ලක් දික් කරලා අනිත් එවුන්ගෙන් ප්‍රශ්ණ කරනවා….

“අග්ගා…චකා…චකා…බකා?” ( “කියපියව් කොල්ලනේ ! මූට මොකද කරන්නෙ?” )

අනිත් උන් එක හඬින්….

“හච්චා…හච්චා…ගච්චා…ගච්ච….බච්චා…බච්චා….කච කච කච…කජෝ” ( “ඕකට ගල් ගහලා මරපියව්!”)

“ඇල්ෆා” තමන්ගේ අතේ තිබ්බ දණ්ඩක් අහසට උස්සලා බෙරිහන් දෙනවා….

කස්ටිය වට වෙලා අරූට අහුවෙන දේකින් නෙළනවා…ටික වෙලාවකින් ඌත් ලේ විලක් මැද්දෙ ඩවුන්…..

උගේ මිනියටත් පයින් ගහලා අරුන් ටික “බජ බජ බජ” ( “දුන්නා වැඩේ තිතට!” ) කියාගෙන යනවා….

මේ කාලෙදි මොළයේ සංකීර්ණ සැකසුමක් විකසනය වෙලා නෑ….ගහෙන් බැහැලා තාම කී දොහද?…ඉතින් :

“ආවේගය ආවා >> කෙළලා ඇරියා >> අපරාධ කරුවෙක් සහ වින්දිතයෙක් බිහිවුණා >>>  වින්දිතයාගේ පාර්ශවය සහ නිරීක්ෂකයන් ආවා >> වෙච්ච දේ දැකලා උන්ටත් ආවේගයක් ආවා >> උනුත් අපරාධ කරුවාට කෙළලා ඇරියා >> ඌත් වින්දිතයෙක් උනා….ගේම් ක්ලෝස් !”

ආවේගය >> ක්‍රියාව ( අපරාධය ) >> ප්‍රති-ආවේගය ( ප්‍රතිචාරය ) >> දඬුවම 

සූට්ටක් ශිෂ්ඨාචාරය 

Reciprocal Justice කියන එකේ මූලික දෙසුම් බොහෝ ප්‍රාථමික සමාජවල සම්මත නීති පද්ධතිවල තිබුණත්, ඒ පිළිබඳව මූලිකම ලේඛණගත කියවීම ලැබෙන්නේ ක්‍රිස්තු පූර්ව 1850 දි පමණ බැබිලෝනියාවේ ( වත්මන් ඉරාකය ආශ්‍රිත ප්‍රදේශය ) රජකළ හමුරාබි රජුන් කරවන ලද “හමුරාබි ඛේත සටහන්” සහිත ශිලා ලේඛන වලින්….

එහි එන රෙගුලාසි අංක 196 කියනවා “මිනිසෙකු තවත් මිනිසෙකුගේ දතක් කඩා දැමුවහොත්, ඒ මිනිසාගේ දතක් අහිමි කරනු ලැබිය යුතුය….මිනිසෙකු තවත් මිනිසෙකුගේ ඇසක් උපුටා දැමුවහොත්, ඔවුහු ඒ මිනිසාගේ ඇසක් උපුටනු ලැබීම යුක්තිය වේ” යනාදි වශයෙන්…

ඕකම තව ටික කාළයක් ගියාට පස්සෙ, මේ බැබිලෝනියාවේ හමුරාබින්ට උපදේශණ සේවාවන් වල නිරත වුනු “රාබින්” හෙවත් ජුදා දහමේ ( යුදෙව්වන්ගේ ) මුල් නිර්මාතෘවරුන් මේ නීතිමය පැහැදිලි කිරීම් වලින් කෙටුම්පත් සකස් කරනවා….

එයිනුත් අවුරුදු දෙසිය පණහකට පමණ පස්සෙ ඊජිප්තුවේ සිට හය ලක්ෂයක් යුදෙව්වන් නිවහල් භාවය කරා ගෙන ගිය මෝසෙස් නම් නායකයා සීනායි කඳුබඩ ප්‍රදේශයේදි මේ ව්‍යතිශංගික නීති වඩා දරදඬු විදියට යුදෙව් සමාජයට හඳුන්වා දෙනවා….මේක බයිබලයේ පැරණි තෙස්තමේන්තුව / ගිවිසුම කියවන කෙනෙකුට “නික්මයාම” ( Exodus – Chapter 21 ) නම් පරිච්ඡේදයේ 12 ඡේදයේ සිට ඉදිරියට හමුවනවා…

“යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම්, ඒ තැනැත්තා මරනු ලැබිය යුතුමය” ( 21 : 12 )

ඕක ඉතින් ඉස්ලාමයටත් යනවා….සුරාහ් අල් මයිදා 5:45…

ඊළඟට ඉතින් රෝමයට යනවා – Lex Talionis කියලා ලතින් බසින් හඳුන්වනු ලබනවා…එතනින් බටහිරට, අතනින් පෙරදිගට…ඔහොම තමයි….කාළය ක්‍රමයෙන් ගතවෙනවා….හමුරාබි සටහන් සහිත ගල් කණු දූවිල්ලෙන් වැහෙනවා….මුලින් දුප්පතුන්ගේ කල්ලි අතරේ හැදුණු වැඩුණු ක්‍රිස්තියානියෙන් මහා පල්ලි සංස්ථා බිහිවෙනවා…ඉස්ලාමය අධිරාජ්‍ය හදනවා….රෝමය මහා සම්ප්‍රදායක් වෙනවා…එතැන් සිට ක්‍රමය පමණක් වෙනස් වෙමින්, හරය එක ලෙසම පවතිමින් සම්ප්‍රදාය ඉදිරියට එනවා….උල සහ බෙළි කපන මන්නය තොණ්ඩුවක් වෙනවා…තොණ්ඩුව ඉලෙක්ට්‍රෝඩ සහිත පුටුවක් වෙනවා….පුටුව ඇඳක් වෙලා එන්නත් පද්ධතියක් ඒකට සවි වෙනවා…

මේ ලෝකයට වර්ථමානයේ වැරදිලා තියෙන එක තැනක් තමයි, ප්‍රාථමික නොදියුණු ශිෂ්ඨාචාර පාලනය කරන්න, හසුරුවන්න, මිනිසා මනෝවිද්‍යාව ගැන නිසි විද්‍යාත්මක අවබෝධයක් නොතිබුණු යුගයේ, මිනිසාව හැසිරවිය හැකි ආකාරය ගැන විද්‍යාත්මක ගවේෂණයක් නොතිබුණු කාළයේ, සාපේක්ෂ උගතුන් ( වත්මනට අනුව පට්ට නූගතුන් ) විසින් පනවන ලද නීති සහ සම්මුතීන් ඒ විදියටම ඉදිරියට කරගහගෙන යාම….

පසුගාමී සමාජ මේවා තුළ විෂම චක්‍රයක් නිර්මාණය කරගෙන ඉන්නවා….

උදා:

හේතුව

යල්පැනගිය ගල් යුගයේ කාන්තාර ගෝත්‍රවලට, එහෙම නැත්නම් වෛදික සමාජ වලට ගැළපෙන සම්මුතීන් මගින් වර්ථමානයේත් තම රට තුල “සංස්කෘතිය” සහ “සභ්‍යත්වය හසුරුවනවා”

ප්‍රතිඵලය

නූතනත්වය සමග එන නිදහසට එක් ඔළුවකිනුත්, මෙකී ආදි කල්පික යල් පැනගිය සභ්‍යත්වයට සහ සදාචාරයට තවත් ඔලුවකිනුත් දෙපසට අදින “ඔලු දෙකේ බූරුවෙක්” වැනි සමාජයක් නිර්මාණය වෙනවා… ඒ තුළින් විශාල අසහනයක් නිර්මාණය වෙනවා….(මෙහෙම සතෙක් දැකලා නැත්නම් අර “දොස්තර හොඳ හිත” කාටුන් එකේ දොස්තරගේ නැවේ කුඹ ගහ මුදුනේ ඉන්න සතාව බලන්න)….

විසඳුම

ඔන්න එතකොට අර ආදි කල්පික දර්ශණයන් පමණක් හදාරලා තවමත් අපේ සමාජයේ නොනැසී සිය පැවැත්ම තහවුරු කරගෙන ඉන්න ව්‍යාජ විද්වතුන් පෙරට ඇවිත් ඒ ගල් යුගයෙන්ම විසඳුම් නිර්දේශ කරනවා….ඒ විසඳුම තමයි දඬුවම තවත් තද කිරීම සහ දඬුවමේ භයානක බව වැඩි කිරීම…

ඒ මතය හිසට ගන්නා ජනතාව ඒකම කිය කියා යනවා….අර ආදි කල්පික නොදියුණු ශිෂ්ඨාචාර වල කිව්වා වගේ “මරන්න ඕන….ඉරන්න ඕන…පලන්න ඕන….උල තියන්න ඕන…රජ කාලේ දඬුවම් ඕන”…..

දැන් මේ “මොවුන්ට දෙන්න ඕන රජ කාළේ දඬුවම්” කියන එක කියන්නෙ උපරිම ආවේගයක් ආවාම නේද?….දැක්කද ඒක අද කාළෙත් අර ඉස්සර “ආවේගය” අනුව දඬුවම් නියම කරන සමාජයේ සිතුම් පැතුම් වලටම සමපාත වෙන හැටි….කිසිම විශ්ලේෂණයක් නෑ…අවශ්‍යත් නෑ…ආවේගයට සරිලන විදියට දඬුවම තීරණය කිරීමනෙ ඒ කාලෙ කළේ….ඒ යුගය යළි ඉල්ලන්නෙත් ආවේගය මිස වෙන කිසිවක් ඔලුවේ නැති නිසා නේද…?..ඒකනෙ මේ ආවේගය සියල්ල තීරණය කරන “රජ කාලේ දඬුවම්” ඉල්ලන්නෙ…? …

ලෝකය කොච්චර දුරක් ඇවිත් තිබුණත්, මැද පෙරදිග ගොබ්බ ගුබ්බෑයම් වල තාම නීති කියලා තියෙන්නෙ ඒ තුට්ටු දෙකේ ක්‍රමනෙ….නගර වල ප්‍රසිද්ධියෙ බෙලි කපනවා…අත පය කපනවා….අර නූගත්, නොදියුණු, ප්‍රචණ්ඩ, ප්‍රාථමික කාන්තාර ගෝත්‍රිකයන් හසුරුවන්න හඳුන්වා දීපු නීතිමයි තාම තියෙන්නෙ….ආවේගය විතරයි…වෙන කිසිවක් නෑ…ආවේගයට හරියන දඬුවම දෙනවා….එතකොට මේ රටෙත් ආවේගයක් ආපු ගමන් “අම්මපා මේවට තියෙන්න ඕන අර සවුදි අරාබියෙ නීති” කියන එකෙන් තේරෙන්නෙ ආවේගය නිසා එන ප්‍රාථමික, නොදියුණු අශිෂ්ඨ කමට තමන් නොදැනුවත්වම සමපාත වීම නෙවෙයිද?

ආවේගය >> ක්‍රියාව ( අපරාධය ) >> ප්‍රති-ආවේගය ( ප්‍රතිචාරය ) >> දඬුවම 

ඉතින් මේ ප්‍රශ්ණය සහ අර්බුදය ගල් යුගය නිසා පටන් අරන්, ගල් යුගය හරහා, ගල් යුගයටම යනවා….

දැන් එතකොට මොකක්ද මේ වෙලා තියෙන්නෙ?….

වෙලා තියෙන දේ පැහැදිලි කරන්න මම යොදා ගන්නවා, අපේ හිතවත් බ්ලොග් අඩවියක් වන “අසම්මත සටහන්” බ්ලොග් අඩවියේ “ජේමිස් බණ්ඩා” නම දරන විචාරකයා ලියන ලද ලිපියක් වන

https://asammathasatahan.wordpress.com/2015/07/30/uniforms-for-mothers/

එකට මම යොදපු පිළිතුරු කමෙන්ටුවක් එඩිට් කරලා…ආයෙ මුල ඉඳන් ලියනවට වඩා ලේසියි ඒක දාන එක…මේ රෑ බෝ වෙච්ච වෙලාවෙ…

ලිංගික කුහකත්වය

මේක මම ඕපන් කරන්නම් අර “මොනවද මුත්තේ මොකද කරන්නේ?” සින්දුවෙ පදයකින්ම … ( සොරි වෙන්න ඕන ප්‍රතිචාරය පමා වීම ගැන ..)

“තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්න හැකි දේ නොම තේරෙයි මට”

මේක තමා අපේ රටේ 50 – 60 දශක වලට පසුව සහ 80 දශකයට පෙර කාළය තුල සිය තාරුණ්‍ය ගෙවලා දැන් මේ වන විට වැඩිහිටියන් බවට පත්වෙලා ඉන්න අයගේ සියළුම සදාචාර විවරණයන් සහ සංස්කෘතික බ්‍රහ්ම ටෝක්ස් තනි පද පේළියකට සම්පිණ්ඩනය කළොත් ලැබෙන පද පේළිය….

දැන් ඔය දොරමඩලාව කියන මානසික ගුබ්බෑයමට එන පොර ටෝක් කාරයන්ගේ ඉඳලා සියළුම දෙනා තමන්ගේ යෞවනය තුළ තමන් නුදුටු, තමන් පැතූ එහෙත් බොහෝ විට නොලැබුණු දේ අනාගත පරම්පරා වලට ලැබෙනවාට එරෙහිව අවි එසවීමක් තමයි ඔය රාජ්‍ය පරිපාලන පද්ධතිය තුළ සහ ඒවා මගින් මෙහෙයෙවෙන ආයතන ව්‍යුහයන් තුල දකින්න ලැබෙන යල් පැනගිය මතවාදයන් සහ හැසිරීම්….තමන් විසින් “විඳවන ” ලද ජීවිතය ඉදිරි පරම්පරා වලුත් ඒ විදියටම විඳවිය යුතුයි කියන දෘඨ ස්ථාවරය තමයි අද සදාචාරය, අපේ කම, සංස්කෘතිය, සභ්‍යත්වය විදියට සම්ප්‍රේෂණය කරනු ලබන්නෙ….

මේක විෂම චක්‍රයක්….වැඩිහිටියන් තමන්ට නොලැබුණු දේ තමන්ගෙන් ජනිත වූවන්ට ලැබෙනවාට තිබෙන අකමැත්ත / තමන් විඳවූ ජීවිතය තමන්ගේ පසු ජනිතයන් “විඳිනවා” දකින්න තියෙන අවිඥාණික අකමැත්ත නිසා මේවා දරුවන්ට පටවනවා…. ඒ දරුවො ලොකු වෙලා ඒවා ඊළඟ දුහිතෘ පරපුරට පටවනවා….ඔවුන් ඊළඟ පරපුරට….

දේශපාලනය මේකට සෘජුව බලපානවා….ඉහත කී පරම්පරාවල් වර්ථමානයේදී සදාචාරය, සභ්‍යත්වය, සංස්කෘතිය නිර්වචනය කරන අය…..ශ්‍රී ලාංකික පවුල් ඒකක පාලනය කරන්නේ මේ අය…මොකද අපි ඇතැම් සංවර්ධිත රටවල මෙන් නිසි වයසට ආවාම ලෝකයේ අපට හිමි තැන හොයාගෙන පිටවෙලා යන අය නෙමෙයිනේ…ඉන්න දෙනව නම් අවුරුදු 40 ක් වෙනකල් උනත් අපි අම්ම අප්පගෙ ඔක්කෙ දපලා ඉන්න අයනෙ… ඒ නිසා අපේ සමාජයේ තරුණ, තරුණියන්ට දේශපාලනයේ මුදුනට දැනෙන තීන්දු ගන්න ලැබෙන ඉඩකඩ අඩුයි සාපේක්ෂව….ඒ නිසා දේශපාලනයේ කේන්ද්‍රය මේ ඊනියා වැඩිහිට් පරපුර… වඩාත් නිවැරදිව කියනවා නම් මැදි වයස් කාරයන් සහ පූර්ව සැඳෑ විය ගත කරන අය….. ඒ අයගේ තීරණ තීන්දු මත දේශපාලන බලය පැවතීම හෝ නොපැවතීම තීරණය වෙන්නෙ…ඉතින් බලයේ රැඳී සිටීම සඳහා දේශපාලනය මේ ස්ථරයන් පිනවන්න යල්පැන ගිය මතවාදයන් පෝෂණය කරනවා…..

“ස්ත්‍රිත්වය” – අධිපතිවාදය, සභ්‍යත්වය, ෆැන්ටසිය සහ රියැලිටිය

රටක් නිදහස් රටක්ද, නැද්ද කියන එක මනින කදිම මිනුම් දඬුව තමයි ඒ රටේ “ස්ත්‍රිත්වය” පිළිබඳව ඇති පොදු සමාජ විග්‍රහයන් කියවීම….

සුද්දො එද්දි අපේ හිටපු එවුන්ගෙන් සම්පූර්ණ ඇඳුමක් ( යැයි සම්මත ඇඳුමක් ) අඳින්න අවසර තිබුණෙත් එහෙමත් පිරිසකට විතරයි….සුද්දො ඔවුන්ගෙ මධ්‍ය කාළීන ක්‍රිස්තියානි, බැරොක් සහ වික්ටෝරියානු සභ්‍යත්වයන් වල සංකලනයක් තුළින් අපිට පොදුවේ රෙදි ඇන්දුවා….( ඒක කරන්න ගියාම ඔය ලෙනාඩ් වුල්ෆ් එහෙම ලියනවා හම්බන්තොට පැත්තෙ ඊනියා වංශක්කාරයො දිසාපති කාර්යාලයට ඇවිත් විරෝධය පාපු හැටි ගැන… ) .. ඒකත් ඒ කාලෙ අපේ හැටියට ප්‍රගතිශීලියි … මොකද රෙද්ද අඳින එකටත් කුළ තහංචි තියෙන සිස්ටම් එකකට වඩා “අඩු ගානේ තොපි ඔක්කොම ඕක හොඳට වහගෙන හිටපියව්” කියන සිස්ටම් එක සාපේක්ෂව ප්‍රගතිශීලියි…

මෙතෙන්දි අර ඉන්දීය අධිපතිවාදයේ ස්වාමි දියණියන්ගේ වස්ත්‍රය අපේ මානසික වහලුන් ඔවුන්ගේ සභ්‍යත්වය තුළ “උත්තම” කර ගත්තා සේම, බ්‍රිතාන්‍ය ස්වාමියන්ගේ වස්ත්‍රයත් උත්තම කරගෙන, ඔවුන්ගේ සදාචාර රේඛා, පරිමිතයන් උත්තම කරගෙන ස්වදේශික වහළුන් ෆැන්ටසියක් හදාගන්නවා….ඉන් පසුව ඒ ෆැන්ටසිය තුළ සිය ආත්මයට පරම ප්‍රමෝදජනක ස්ත්‍රීත්වය දකිනවා….

ෆැන්ටසිය : “ගවුම අඳින, අධිරාජ්‍ය හිමියන් කියා දුන් ක්‍රිස්තියානි – වික්ටෝරියානු සංවරය සුරකින, ශ්‍රේෂ්ඨ, නිකැළැල්, දේවභාෂිතෝපගත ස්ත්‍රිය”

ඊට පස්සේ ඒ ගොල්ල මේ ෆැන්ටසිය යථාර්තයක් බවට පත් කරගන්න ක්‍රමානුකූලව ට්‍රයි කරනවා….ඒ සඳහා සමාජ චින්තනය සකසනවා…කාළයක් ගියාට පස්සෙ අර ෆැන්ටසිය අනුක්‍රමික රියැලිටියක් වෙනවා….ඔන්න දැන් අපට වික්ටෝරියානු යුගයේ අපේ සීයලා, බාප්පලාගේ ෆැන්ටසියේ හිටපු ස්ත්‍රිය රියැලිටියෙත් ඉන්නවා…

නමුත් පශ්චාත් ලෝක යුද සමයෙදි සුද්දො කියන සභ්‍යත්වය, සදාචාරය, හැසිරීම, හැදිච්ච කම, හොඳ නරක, යනාදියට තිබුණු සමාජ පිළිගැනීම මත කරන “ඒකාකෘතික” කරණය නවත්තලා “Personal Choice / Choice of the Individual” කියන නව මානය සොයාගෙන ගියා…නමුත් ඒ වෙනකොට අපිවත් වෙනස් කරන්න සුද්දා අපි ළඟ නොහිටපු නිසා අපි ඒ වෙනස් කමට ගියේ නෑ….අනෙක අධිරාජ්‍යය අමතක කරත්, සදේශපාලනිකව මේ වෙනස කරන්න තිබුණු අවස්ථාව එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඇතුළු දේශපාලක නඩයක් විසින් වාසි තකා වික්ටෝරියානු පදනම මත විකෘති ජාතිකත්වයක් ගොඩ නැගීම තුළ දියවී ගියා….මීට කළින් සුචරිතවාදී “වීරයන්” ඇතුළු ඊනියා නිදහස් සටන්කරුවන් මේක කරන්න ගිහින් ඇනගෙන නෝණ්ඩි වුනේ ඔවුන්ට මේ වෙනස් කම් ඝණීභූත කරන්න අවශ්‍ය කේන්ද්‍රයේ දේශපාලනික බලය නොමැතිකම නිසා…..නමුත් බණ්ඩාරනායක ප්‍රමුඛ පිරිසට ඒ අඩුව පිරිමැහුණු නිසා ඔවුන් මේක කොහොම හරි කර ගත්තා…අන්න ඒ විකෘතිය මුල් වරට ග්‍රහණය කරගෙන එදා ඉඳන් අද වෙනතුරු ඒක කරපින්නාගෙන ඇවිදින එවුන්ට අපි කියනවා ඊනියා ’56 දරුවෝ කියලා…සුද්දා පුද්ගල නිදහස කියන මානය තුළ වඩා දීප්තිමත් සභ්‍යත්වයක් සොයා ගත්තා….අපි තාම සුද්දා ඉතිරි කරලා ගිය පිළිණු වෙච්ච කෑම පීරිසිය දිවි හිමියෙන් රකිනවා…

මෙතනදි වෙච්ච ලොකුම කරුමෙ තමයි මේ ජනප්‍රියවාදී 56 විකාරය ඊනියා “වාමාංශික දේශපාලනයක්” ලෙසට මේ සමාජයේම කොටස් විසින් හඳුනා ගනු ලැබීම….ඔවුන් මෙය “අධිරාජ්‍ය විරෝධී වමේ ව්‍යාපාරයක්” ලෙස හඳුන්වා ගැනීම තුළ වමටත් පිරිස් බලය රැකගැනීම සඳහා මේ අදහස් තමන්ගේ අදහස් අස්සට දාලා චට්නියක් හදාගන්න සිද්ද උනා….මේ “අපේ ක්‍රමයේ සමාජවාදය…අපට ගැළපෙන සමාජවාදය…මාක්ස්වාදයේ අපිට ගැළපෙන අර්ථකතනය” කියන්නෙ ඒකට….

අද මේ මොහොත වනවිටත් ඉන්න ඊනියා වාමාංශිකය, විප්ලවවාදීන්ය කියාගන්න කොටස මේ අතින් වික්ටෝරියානු සිංහල බෞද්ධ සදාචාරවාදීන්ට දෙවැනි නෑ…..විශ්ව විද්‍යාලයේ පළමු වසර කෙල්ලන්ට කලිසම්, ත්‍රී ක්වාර්ටර්ස් ඇඳීම තහනම්…ගවුම් සායවල් විතරයි අඳින්න පුලුවන්….නියෝගය ඊනියා රැඩිකල් ශිෂ්‍ය සංගම් වලින්…මෙරට සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරයත්, එයින් ඉච්ඡා භංගත්වයට පත්වූවන් කැඩී වෙන්වී හදාගත් රැඩිකල් වාමාංශික ව්‍යාපාරත් මේ ගුඩු වෙච්ච මානසික තත්වයන්ගෙන් රට මුදවා ගනු වෙනුවට කලේ ඒක තවත් තීව්‍ර කරන්න උදව් කිරීම….ඔවුන්ට ශාස්ත්‍රීයත්වය සප්ලයි කරන්නෙත් අර 56 දරුවන් හෝ ඔවුන්ගේ පරිණාමික අවස්ථා….

මේ තමයි අපි යථාර්තය ලෙස දකින, අපි යථාර්තය තුළ සම්මත කරන, අනුමත කරන ගැහැණිය….

ඉතින් තවමත් Stereotyping ප්‍රබල විදියට ක්‍රියාත්මකයි…

“ගැහැණු ළමයෙකු වනාහි… මෙන්න මේවා, මේවා, මේවා, මේවා….තිබෙන….මේ, මේ ග්‍රන්ථවල, ශුද්ධ ලියවිලි වල, කයි කතන්දර වල, පඬි ටෝක්ස් වල, ජන ප්‍රවාද වල තියෙන පරිදි වන….මෙන්න මේ මේ ලේඛකයන් අප කෙරෙහි පතළ මහා කරුණාවෙන් ලියූ සිරිත් මල්දම, අරක, මේක අනුව හිතන පතන … කෙනෙකු වන්නේය”

ඉතින් පරිපූර්ණ යුවතියක, කාන්තාවක ලෙස සමාජයේ පිළිගැනීමට ලක්වෙන්න, සමාජයෙන් ප්‍රතික්ෂේප වීමෙන් වැළකෙන්න කාන්තාවන් මේ ස්ත්‍රිත්වයේ අර්ථ නිරූපණයට කීකරු වෙනවා…ඇයට වෙන කරන්න දෙයක් නෑ කීකරු වෙනවා ඇරෙන්න….”හොඳ කෙල්ලෙක් වෙන්න මේ වගේ වෙයන්!” කිව්වාම ඒ වගේ වෙනවා…

ෆැන්ටසි – රියැලිටි ගැටුම

මේක වඩාත්ම භයානක අතට හැරෙන්න ගත්තෙ අපි දියුණු ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ප්‍රවාහයන්ට නිරාවරණය වෙන්න පටන් ගත්තාමයි…

තොරතුරු තාක්ෂණය හරහා අපට ලිබරල් ධනවාදී සමාජයේ වාණිජමය උත්සාහයන් + ලිබරල් සභ්‍යත්ව පරාමිතීන් එකතුවක් එනවා…”Baywatch” එකේ චූටි ස්විම් සූට් ඇඳගෙන පිරිපුන් ඇඟවල් තියෙන කෙල්ලො නිරුවත් තට්ටම් නටව, නටව ඇවිදිනවා….කෙල්ලො “සිනා නොමසෙන් දසන් දක්වා” කුඩු කරලා හයියෙන් කෑ ගහනවා…හැන්ඩි කොල්ලෙක් දැක්කොත් ඌ එක්ක ත්‍රිල් ගන්නවා…..කෙල්ලො කොල්ලො කිසි භේදයක් නැතුව නිදහසේ, සතුට බෙදාගෙන ජීවිතේ උපරිම වින්දනයක් ලබන්න උත්සාහ කරනවා අපේ අයට මාධ්‍ය හරහා පේනවා…

සුද්දො හොඳට සෙක්ස් කරලා ෆන් ගන්නවා…නව යොවුන් කොල්ලො කෙල්ලො හොඳට සෙක්ස් කරනවා…නිදහසේ පාටි දානවා…බොනවා…ලිංගිකත්වය උද්දීපණය කළ හැකි විලාසිතා අත්හදා බලනවා…ජීවිතයේ තෘප්තකර හැඟීම් පෝෂණය කිරීම උපරිමයෙන් කරනවා….මේ මාධ්‍ය හරහා එන්නේ ඔවුන්ගේ සමාජයේ රියැලිටි වල එකතුවක් උනත්, ඒවා කරන්න නිදහසක් නැති අපේ අයට ඒක ෆැන්ටසි වෙනවා…අන්න ඒ මාධ්‍ය හරහා දකින බටහිර අයගේ රියැලිටියෙන් අපේ පසුගාමී සමාජ වල අලුත්ම පරම්පරාවේ අයට ෆැන්ටසියක් හැදෙනවා….

අර සීයලා, මුත්තලාට හැදුණු 18 වැනි සියවසේ වික්ටෝරියානු ස්ත්‍රිත්ව විවරණය සහිත ෆැන්ටසිය වගේම එකක් මෙයාලටත් හැදෙනවා….පරම ප්‍රමෝද ජනක ස්ත්‍රියක් මේ අයත් විවරණය කරගන්නවා….

21 වැනි සියවසේ ෆැන්ටසිය….

ඉතින් ඊට පස්සේ මේ 21 වැනි සියවසේ ෆැන්ටසිය හිසින් දරාගෙන, ඒ මනෝභාවය පිනවනන්න ඔවුන් රි‍යැලිටිය වෙත එනකොට රියැලිටිය තාම 18 වැනි සියවසේ…!…ඇයි ඉතින් සුද්දො අපිට 18 වැනි සියවසේ ෆැන්ටසිය හදල දුන්න නිසා අපි තාම ඒකෙ ඉන්නවා…සුද්දා එතනින් එහාට ගියා කියලා අපි දන්නෙ නෑනේ…අපි තාම උන් 18 වැනි සියවසේ හිටපු තැන….

ඉතින් මේක දකින ඔවුන් ෆුල් හොල්මන් වෙනවා…ෆැන්ටසියේ ඉන්න සෙක්ස් වලින් ත්‍රිල් ගන්න ආස, කන බොන, විනෝද කාමී ගැහැණිය සිය නිදි යහනට ඇත්තටම ගෙනියන්න හිතාගෙන ඔවුන් පාරට බැස්සාම ඔවුන්ට හමුවන්නේ අර ඔවුන්ගේ අප්පලා, මහප්පලා, බාප්පලා, සීයලා ඔවුන්ගේ ෆැන්ටසිය අනුව රියැලිටියට ගේන්න කටයුතු කරපු ස්ත්‍රිය….ඇය සිපගන්න බයයි…පෙම්වතා සමග තනිවෙන්න බයයි…අතකින් අල්ලන්න බයයි…පොකුරෙන් ගැලවෙන්න බයයි…ලැජ්ජයි…නිදහසේ අදහස් ප්‍රකාශනයට බයයි….කයින් සහ මනසින් දෙමාපියන්ට සිරකාරියක්…

ඇයි තාම ස්ත්‍රිත්වයේ සමාජ සම්මත අර්ථ නිරූපණය තියෙන්නෙ අර 18 වැනි සියවසේ මොඩල් එකේ නෙ…?….සම්මතය තීරණය කිරීමේ වැඩි බලය තියෙන්නෙ වැඩිහිටියන්ට නෙ….එයාලා තාම අල්ලගෙන ඉන්නෙ සම්මතයේ එයාලගෙ නිර්වචන නෙ….ඉතින් තාම කාන්තාව අර යටගිය දවස ස්ත්‍රිත්වයට කීකරුයි….මොකද සමාජ ගැරහීමෙන් මිදෙන්න ඕන නිසා….”හොඳ කෙනෙක්” වෙන්න ඕන නිසා…

ඔන්න 21 වැනි සියවසේ ෆැන්ටසිය 18 වැනි සියවසේ රියැලිටිය එක්ක ගැටෙනවා….

ඔන්න ඉතින් නව පරපුරෙන් සමහරක් අය අර පෙර පරම්පරා කලා වගේම ඔවුන් ගොඩ නගන ෆැන්ටසියත් රියැලිටියට ගේන්න උත්සාහ කරන්න පටන් ගන්නවා…

එතකොට වැඩිහිටියෝ ඔවුන්ගේ රියැලිටිය රැක ගන්න මෙහෙන් අදිනවා….තරුණ පරපුර එහෙන් අදිනවා…මේ කඹ ඇදීමේ ප්‍රතිඵලයක් ලෙස “ඔලු දෙකේ බූරුවෙක්” නිර්මාණය වෙනවා…

මේ ඔලු දෙකේ සමාජ බූරුවාගේ එක ඔලුවක් ලිබරල් චර්යා දේශනා කරනවා….ඒ අතට අදිනවා…අනිත් ඔලුව අධි සංරක්ෂණ වාදී ආදි කල්පිත අදහස් දේශනා කරනවා… ඒ අතට අදිනවා…

මේ බූරුවා හමුවට පමුණුවනු ලබන සමාජ ජීවියා Full Confuse වෙනවා….ඒ Confuse වීමේ ප්‍රතිඵලය වෙන්නෙ අසහනය සහ පීඩනය….

ඊට පස්සෙ කකුලක් දැක්කොත් මළ පනිනවා….දුක් විඳිනවා….ඒ දුකේ Focal Object එක ස්ත්‍රිය කියලා හිතාගෙන ඒ පීඩනය ඇය මතින් යවනවා….ගෑණුන්ට කුණු හරුප කියලා, ජැක් ගහලා, අවයව මිරිකලා, ගොසිප් හදලා, ඒ ද්වේෂය පිට කර ගන්නවා…

ෆැන්ටසිය රියැලිටිය කරගන්න දඟලන දැඟලිල්ලෙ භයානකම අවස්ථාව තමයි ස්ත්‍රී දූෂණය…..

ඉල්ලුම තිබෙනවා දරුණුවට….ඉල්ලුමට සරිලන සැපයුම ලොවෙත් හොයාගන්න නෑ…ඊළඟට බිහිවෙන්නෙ උද්ධමනය…සමාජය පැත්තෙන් බැලුවොත් අසහනය…උග්‍ර අසහනය…අවසානයෙදි පීඩනය පුපුරා යන්නෙ අනෙක් හැම පීඩනයකම වගේම ප්‍රචණ්ඩත්වය හරහා….පීඩනය වාන් දමන්නෙ ප්‍රචණ්ඩත්වයේ ඇළට…..

ඉතින් කාව හරි එල්ලුවොත් මේක හරි යාවි කියලා හිතෙනවද?